3. 1 කුණ්ඩලකෙසාපදානය.
639. “මින් (පෙර) සියක් දහස්වන කපෙහි ලෝක නායකවූ, සියළු ධර්මයන්හි පරතෙරට ගිය පදුමුත්තර නම් බුදුරජතෙම ලොව පහළවිය.
640. “එකල්හි මම හංසවතී නගරයෙහි නන්රුවනින් බබලන සිටු කුලයක උපන්නී, බොහෝ සුව විඳින්නියක් වීමි.
641. “එම මහාවීරවූ බුදුරජුන් වෙත එළඹ දම් දෙසුම ඇසීමි. ඉන් හටගත් පැහැදීම ඇත්තාවූ මම බුදුරජුන් සරණකොට ගියෙමි.
642. “එකල්හි මහා කාරුණීකවූ පදුමුත්තර නම් බුදුරජතෙම සුභ නම් භික්ෂුණියක් වහා දහම් අවබෝධ කරන්නාවූ භික්ෂුණීන් අතුරෙන් අගතැන්හි තැබූහ.
643. “එය අසා ප්රමුදිතව බුදුරජුන්හට දන් දී, සිරසින් පාමුල වැටී එම තනතුර පැතීය.
644. “මහාවීරවූ බුදුරජතෙමේ, “සොඳුර, තී විසින් පතන ලද යමක් වේ නම්, ඒ සියල්ල සමෘද්ධ වන්නේය. නිවනට පැමිණියා සුව ඇත්තියක් වනු මැනවැ” යි අනුමෝදනා කළ සේක.
645. “මින් මතු සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහල වන්නේය.
646. “උන්වහන්සේගේ ධර්මයෙහි දායාදීවූ, ධර්මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස බුද්ධපුත්රීවූ, “භද්දා කුණ්ඩකෙසා” යයි බුද්ධශ්රාවිකාවක් වන්නෙහිය.”
647. “මැනවින් කරන ලද එම කර්මය කරණ කොට ගෙනද, චිත්තප්රණිධීන් කරණ කොට ගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
648. “ඉන් චුතව යාම දෙව්ලොවට ගියෙමි. මම ඉන් තුසිතයට ගියා, එතැනින් නිර්මාණරතියටද, ඉන් වසවර්ති පුරයටද ගියෙමි.
649. “එම පුණ්ය කර්මයාගේ බලයෙන් යම් යම් තැනක උපදිම්ද, ඒ ඒ තන්හි රජුන්ගේ මෙහෙසිබව කෙළෙමි.
650. “ඉන් චුතව මිනිසත් බැව්හි සක්විති රජුන්ගේද, මණ්ඩලීක රජුන්ගේද මෙහෙසිබව කෙළෙමි.
651. “දෙව් මිනිස් දෙගතියෙහි සම්පත් අනුභවකොට, හැම තන්හි සුව ඇත්තීව, නොයෙක් කල්පයන්හි සැරිසැරීමි.
652. “කථා කරන්නවුන් අතරින් ශ්රේෂ්ඨවූ, බ්රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, නම්න් කාශ්යප නම්වූ බුදුරජතෙම ලොව පහළවිය.
653. “එකල්හි උතුම්වූ බාරාණසී නගරයෙහි මිනිසුනට අධිපතිවූ “කිකී” නම් කසීරජ තෙමේ මහර්ෂීවූ බුදුරජුන්ගේ උපස්ථායකයා විය.
654. “එම (කිකී) රජුගේ සිව්වන දියණියවූ “භික්ඛුදාසී” යයි ප්රකටවූ මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා පැවිද්ද රුචි කෙළෙමි.
655. “පිය (රජ) තෙම අපට (එයට) අවසර නොදුන්නේය. එහෙයින් අපි ගිහිගෙහිදීම විසිදහසක් අවුරුදු උදාසීන නොවී හැසුරුණෙමු.
656. “සුවසේ වැඩුණාවූ, බුදේධාපස්ථානයෙහි ඇලුනාවූ, ප්රමුදිතවූ රාජ කන්යාවන්වූ දූවරුන් සත්දෙනෙකුවූ අපි කෞමාරී බ්රහ්මචර්ය්යය රැක්කෙමු.
657. “(එම සත් දෙන නම්) සමණීද, සමණ ගුත්තාද, භික්ෂුණීද, භික්ඛුදායිකාද, ධම්මාද, සුධම්මාද, සත්වැනිවූ සංඝදාසියද,
658. “(එම සත්දෙන පිළිවෙළින් අප බුදුන් කල) ඛෙමාවද, උප්පලවණ්ණාවද, පටාචාරාවද, එසේම මමද, කිසා ගෝතමීයද, ධම්මදින්නාවද, සත්වැනිවූ විශාඛාවද වේ.
659. “මැනවින් කරණ ලද එම කර්මය කරණකොටගෙනද, චිත්ත ප්රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
660. “දැන් මේ අන්තිම භවයෙහි උතුම්වූ ගිරිව්රජ නගරයෙහි සමෘද්ධවූ සිටු කුලයක උපන්නී යම් කලෙක්හි මම යොවුන් බැව්හි සිටියාද,
661. “(එකල්හි) මම වධය පිණිස ගෙනයන්නාවූ සොරෙකු දැක ඔහු කෙරෙහි ඇළුනී, මාගේ පිය තෙම ඔහු එම වධයෙන් දහසක් දීමෙන් මුදා
662. “පියතෙම මාගේ අදහස දැන ඕහට පාවා දුන්නේය. මම ඕහට ඉතා විශ්වාසවූ, දයාවත්වූ, හිතවත්වූ තැනැත්තියක් වීමි.
663. “දොස් සහිත අදහස් ඇති ඒ සතුරු තෙමේ මාගේ ආභරණ ලෝභයෙන් චොරප්පාත නම් පර්වතයට (මා) ගෙන ගොස් මැරීමට සිතීය.