2. 9 උප්පලවණ්ණාපදානය
511. “ඎද්‍ධියෙහි පරතෙරට ගිය උත්පලවර්‍ණා භික්‍ෂුණීතොමෝ බුදුරජාණන්වහන්සේගේ සිරිපා වැඳ, මෙම වචනය කීවාය.
512. “බුදුරජාණන් වහන්ස, (මා විසින්) සසර තරණය කරන ලදී. අචල පදයවූ නිවණට පැමිණියා වෙමි. මා විසින් සියලු දුක් ක්‍ෂය කරන ලදී. (එය) ආරෝචණය කරමි.
513. “බුදුසසුන්හි පහන්වූ යම් පමණ පිරිසක් ඇද්ද, යම් කෙනෙකුන්හට මාගේ (සිදුවූ යම්) අපරාධයක් ඇත්නම් (ඔවුහු) තථාගතයන් හමුයෙහි (මට) ක්‍ෂමා කෙරෙත්වා.
514. “ඉදින් සසරෙහි සැරිසරන්නාවූ මාගේ වරදක් වන්නේ නම් මහා වීරයන් වහන්ස, එය ආරෝචනය කරමි. එම අපරාධයට ක්‍ෂමා කෙරෙහිවා” යි (කියායි.)
515. “මාගේ සසුන කරන්නියෙනි, ඎද්‍ධියද දක්වන්න. අද සිව් පිරිස යම්තාක් නම් (ඔවුන්ගේ) සැක දුරුකරන්න”
516. “මහාවීරයන් වහන්ස, පැණවතුන් වහන්ස, පැහැ දරන්නවුන් වහන්ස, (මම) ඔබ වහන්සේගේ දුවක්මි. මා විසින් කිරීමට ඉතා අපහසුවූ බොහෝ දුෂ්කර කර්‍මයක් කරන ලදී.
517. “මහා වීරයන් වහන්ස, මාගේ පැහැය උපුල් මලකට බඳුය. නම්න් උප්පල නමැත්තී වෙමි. පසැස් ඇතියාණන් වහන්ස, ඒ ඔබ වහන්සේගේ දුහිතෘතොමෝ සිරිපා වඳියි.
518. “බොහෝ නොයෙක් සිය ගණන් ජාතීන්හි රාහුල තෙමේද, මමද එකම ජාතියෙහි උපන්නාහු, සමවූ අදහස් ඇත්තෝ වූහ.
519. “බොහෝ සෙයින් ජාතීන්හි මාගේ උත්පත්තිය (රාහුලයන් හා) එක්වම වේ. අන්තිම භවය පැමිණි කල්හි දෙදෙනම වෙන වෙන උත්පත්ති ඇත්තෝ වුහ.
520. “පුත්‍ර තෙමේ රාහුල නම් වේ. දුහිතෘ තොමෝ උත්පල(වර්‍ණා) නම් වූවාය. වීරයන් වහන්ස, මාගේ ඎද්‍ධිය බලනු මැනව. ශාස්තෘන් වහන්සේට මාගේ බලය දක්වමි.
521. “ළදරු වෙදකමෙහි දක්‍ෂ වෛද්‍යයෙක් තෙම අත්ලට ගත් තෙලක් මෙන් සිව්මහ සමුදුරු අත්ලෙහි දැමුවාය.
522. “තරුණ කුමරුවෙක් තෙම චිත්තමුඤ්ජ නම් තෘණ විශේෂය යම්සේ ඉදිරීනම් පොළොව උදුරා අත්ලෙහි බැහුවාය.
523. “සක්වලක ප්‍රාණීන් මතුයෙහි වසා නන්වන් දියබිඳු නැවත වස්වා,
524. “පොළොව වංගෙඩියක් කොට, බොරළු කැට ධාන්‍යකොට, සිනෙර පර්‍වතය මොහොලක් කොට (ඕතොමෝ) ලදැරියක මෙන් මැඩුවාය.
525. “මම නම්න් උත්පල(වර්‍ණා) නම්වූ අභිඥාවන්හි වශීභූතවූ ඔබ වහන්සේගේ සසුන කරන්නාවූ බුද්‍ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ දුහිතෘවක් වෙමි.
526. “පසැස් ඇතියාණන් වහන්ස, නානාවිධ (ඎද්‍ධි) විකුර්‍වණයන් කොට, ලෝක නායකයන් වහන්සේට දක්වා, නම් ගොත්ද අස්වා (සිරි)පා වඳිමි.