2. 10 පටාචාරාපදානය
595. “මින් පෙර සියක් දහස් වන කපෙහි ලෝකනායකවූ, සියළු ධර්‍මයන්හි පරතෙරට ගිය පදුමුත්තර නම් බුදුරජතෙම (ලොව) පහලවිය.
596. “එකල්හි මම හංසවතී නගරයෙහි නන් රුවනින් බබලන සිටු කුලයක උපන්නී බොහෝ සුව විඳින්නියක් වීමි.
597. “එම මහාවීරවූ බුදුරජුන් වෙත එළඹ දම් දෙසුම් ඇසීමි. ඉන් හටගත් පැහැදීම ඇත්තාවූ මම බුදුරජුන් සරණ කොට ගියෙමි.
598. “ඉක්බිති ලෝකනායක තෙමේ විනයධාරී භික්‍ෂුණීන් අතුරෙන් අග්‍රවවූ, ලජ්ජීවූ, තාදී ගුණ ඇති, කැප නොකැප දැයෙහි නිපුණවූ භික්‍ෂුණියක් වර්‍ණනය කළ සේක.
599. “එකල්හි ප්‍රමුදිතවූ සිත් ඇති මම එම තනතුර බලාපොරොත්තු වන්නී, සඞ්ඝයා සහිතවූ ලෝනා බුදුන් පවරා,
600. “සතියක් (දන්) වළඳවා, තුන් සිවුරු දී, හිසින් (නැමී) පාමුල වැටී මෙම වචනය කීමි:
601. “වීරයන් වහන්ස, මින් (පෙර) අටවෙනි දිනයෙහි ඔබ වහන්සේ විසින් යම් භික්‍ෂුණියක් තොමෝ වර්‍ණනය කරන ලද්දි නම්, ලෝක නායකයන් වහන්ස, ඉදින් (පැතුම) සමෘද්‍ධි වන්නේ නම් මමද එබඳු තැනැත්තියක් වන්නෙමි.”
602. “එකල්හි මට ශාස්තෘතෙමේ මෙසේ වදාළ සේක. “සොඳුරු තැනැත්තිය, බිය නොවනු මැනව. අස්වැසිලි ලබනු මැනව. අනාගත කාලයෙහි මනොරථය ලබන්නෙහිය.
603. “මින් සියක් දහස් වන කපෙහි ඔක්කාක කුලයෙහි උපන් ගෝතම නම් ගොත් ඇති ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නාහ.
604. “උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදිවූ, ඖරස (බුද්‍ධ පුත්‍රී) වූ, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ, නම්න් පටාචාරා නම්වූ බුද්‍ධ ශ්‍රාවිකාවක් වන්නෙහිය” (කියායි.)
605. “ඉක්බිති මම ප්‍රමුදිතව, එතැන් පටන් දිවි ඇතිතාක් මෙත් සිතින් සඞ්ඝයා සහිත ලෝකනායක බුදුරජුන්හට පරිවරණය කෙළෙමි.
606. “මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
607. “කථා කරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ, බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, නම්න් කාශ්‍යප නම්වූ බුදුරජතෙම මෙම කල්පයෙහි ලොව පහළවූහ.
608. “එකල්හි උතුම්වූ බාරාණසී නගරයෙහි මිනිසුනට අධිපතිවූ “කිකී” නම් කසීරජතෙමේ මහර්ෂීවූ බුදුරජුන්ගේ උපස්ථායකයා විය.
609. “එම රජුගේ භික්ඛුණීයයි ප්‍රකටවූ තෙවන දුවණිය වීමි. උතුම්වූ බුදුරජාණන් වහන්සේගේ ධර්‍මය අසා පැවිද්ද රුචි කෙළෙමි.
610. “(පැවිදිවීම සඳහා) පිය (රජ) තෙම අපට නොඅනුදත්තේය. (එබැවින්) අපි ගිහිගෙහිදීම විසිදහසක් අවුරුදු (කම්මැලි නොවී) හැසුරුණෙමු
611. “රාජකන්‍යාවන්වූ, සුවසේ වැඩුනාවූ, බුදේ‍ධාපස්ථානයෙහි ඇළුනාවූ, ප්‍රමුදිතවූ, (එම රජුගේ) දූවරුන් සත් දෙනෙකු වූ අපි කුමරි බඹසරෙහි හැසුරුනෙමු.
612. “(එම සත් දෙන නම්) සමණීද, සමණගුත්තාද, භික්‍ඛුණීද, භික්‍ඛුදායිකාද, ධම්මාද, සත්වැනිවූ සඞ්ඝදාසියද (වූහ).
613. “මමද, උප්පලවණ්ණාවද, ඛේමාවද, භද්දාවද, භික්ඛුණියද, කිසාගෝතමියද, ධම්මදින්නාවද, සත්වැනිවූ විශාඛාවද වේ.