2. 8 ඛෙමාපදානය
416. “සියළු ධර්මයන්හි (විනිවිද දක්නා සුළු) පසැස් ඇත්තාවූ, ලෝක නායකවූ, පදුමුත්තර නම් බුදුරජතෙමේ මින් සියක් දහස්වන කපෙහි ලොව පහළවිය.
417. “එකල්හි මම හංසවතී නගරයෙහි නන් රුවනින් බබලන සිටු කුලයක උපන්නී, බොහෝ සුව විඳින්නියක් වීමි.
418. “එම මහාවීරවූ බුදුරජුන් වෙත එළඹ දම් දෙසුම් ඇසීමි. ඉන් හටගත් පැහැදීම ඇත්තාවූ මම බුදුරජුන් සරණකොට ගියෙමි.
419. “මවටද, පියාටද කියා (අවසර ගෙන) බුදුරජුන් පවරා ශ්රාවකයන් සහිතව සතියක් මුළුල්ලෙහි වැළඳවීමි.
420. “තථාගත තෙම සතිය ඉකුත්වූ කල්හි මහාප්රාඥ ඇත්තියන් අතුරෙන් උතුම්වූ භික්ෂුණියක් එතදග්රස්ථානයෙහි තැබූහ.
421. “එය අසා සතුටුව නැවතද එම බුදුරජුන්හට සත්කාරකොට (උන්වහන්සේගේ) දෙපා මුල වැටී එම තනතුර පැතීමි.
422. “ඉක්බිති තථාගත තෙමේ මට මෙසේ වදාළ සේක. “තිගේ පැතුම් සිදුවේවා. තී විසින් සඞ්ඝයා සහිතවූ මා කෙරෙහි කරණ ලද සත්කාරය අපමණ විපාක ඇත්තකි.
423. “මින් මතු සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නාහ.
424. “උන්වහන්සේගේ ධර්මයෙහි දායාදිවූ, ඖරස (බුද්ධපුත්රී) වූ, ධර්මයෙන් නිර්මිත කරණ ලද්දාක් වැනිවූ (තී) එතදග්රස්ථානයට පැමිණියා ‘ඛෙමා’ නම් වන්නෙහිය (කියායි.)
425. “මැනවින් කරණ ලද එම කර්මය කරණකොටගෙනද, චිත්ත ප්රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
426. “මම ඉන් චුතවූවා යාම දෙව්ලොවට ගියෙමි. ඉන් තුෂිත දෙව්ලොවට ගියා, එතැනින් නිර්මාණරතියටද, ඉන් (චුතව) වශවර්ති (දිව්ය) පුරයටද (උත්පත්ති වශයෙන්) ගියෙමි.
427. “එම කර්මයාගේ බලයෙන් යම් යම් තැනක උපදිම් නම් ඒ ඒ තන්හි රජවරුන්ගේ මෙහෙසි බව කෙළෙමි.
428. “ඉන් චුතව මිනිසත් බැව්හි සක්විති රජවරුන්ගේද, මණ්ඩලීක රජවරුන්ගේද මෙහෙසිබව කෙළෙමි.
429. “දෙවියන් කෙරෙහිද, මිනිසුන් කෙරෙහිද සම්පත් අනුභවකොට, සියළු තන්හි සුව ඇත්තීව බොහෝ කල්පයන්හි සැරි සැරීමි.
430. “මින් එක්අනූවන කපෙහි මනොඥවූ ඇස් ඇති, සර්ව ධර්මයන් විෂයයෙහි විශිෂ්ඨවූ දැකුම් ඇති, ලෝකනායකවූ විපස්සී බුදුරජතෙම ලොව පහළවූහ.
431. “මම ලෝකනායකවූ ඒ බුදුරජුන් වෙත එළඹ ප්රණීතවූ ධර්මය අසා අනගාර්ය්ය නම්වු සසුනෙහි පැවිදිවීමි.
432. “එම බුදුරජුන්ගේ සසුනෙහි දස දහසක් අවුරුදු බඹසර හැසිර, යෙදෙන ලද භාවනා ඇත්තී, බහුශ්රුතවූවා,
433. “ප්රත්යාකාර (පටිච්ච සමුප්පාද)යෙහි දක්ෂවූවා, චතුස්සත්යයෙහි විශාරදවූවා, පුරුදුවූවා, චිත්ර කථිකවූවා, බුදුසසුන් කරන්නීවූ මම,
434. “ඉන් චුතව තුසිත දෙව්ලොව උපන්නී, යසස් ඇත්තී, බඹසර හැසිරීමෙහි බලයෙන් මම එහි අනිකුදු (සුව) අනුභව කෙළෙමි.
435. “(ඒ) යම් යම් තැනක උපන්නීවූ මම මහත්වූ භෝග ඇත්තී, රූමත්වූවා, මහත් ධන ඇත්තී, නැණවත්වූවා, හික්මුනාවූ පිරිස් ඇත්තීද වෙමි.
436. “බුදුසසුන්හි යෙදීමෙන් (රැස්කළ) එම පුණ්යකර්මයෙන් මට සිතට ප්රියවූ සියළු සම්පත්තීහු සුලභයහ.
437. “යම් යම් තැනක (උත්පත්ති වශයෙන්) ගිය මට යම් කිසිවෙක් ස්වාමියා වේද, (හෙතම මාගේ) ප්රතිපත්ති ඵලය කරණකොට ගෙන අවමන් නොකරයි.
438. “මෙම මහා භද්ර කල්පයෙහි බ්රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, කථාකරන්නවුන් අතුරෙන් ශ්රේෂ්ඨවූ, නම්න් කොනාගමන නම්වූ බුදුරජතෙම ලොව පහළවූහ.
439. “එකල්හි මම බරණැස් නුවර සමෘද්ධවූ කුලයක උපනිමි. ධනඤ්ජානියද, සුමෙධාවද, මමද යන අපි තිදෙන,
440. “පෙර දාන සහායිකාවූවෝ, සඞ්ඝාරාමයක් දුනිමු. සඞ්ඝයා උදෙසා විහාරයක්ද කරවීමු.