2. 7 මහා ප්‍රජාපතී ගොතමී පදානය
226. එක් කලෙක ලොව බබුළුවන්නාවූ, නරදම්සැරිවූ බුදුරජාණන් වහන්සේ විශාලා නගරයෙහි මහාවනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක.
227. එකල්හි බුදුරජුන්ගේ සුළුමවවූ මහා ප්‍රජාපතී භික්‍ෂුණීතොමෝ එම විශාලා නගරයෙහි කරණ ලද රම්‍යවූ භික්‍ෂුණී අසපුවක විසුවාය.
228. රහත්වූ පන් සියයක් භික්‍ෂුණීන් සමග හුදකලාව (විවේකයෙන්) විසූ එම ප්‍රජාපතී ගොතමියගේ සිතට මෙබඳු අදහසක් ඇතිවිය.
229. “මම බුදුරජුන්ගේ හෝ, අගසව් දෙනමගේ හෝ, රාහුල-ආනන්‍ද- නන්‍ද යන සව්වන්ගේ හෝ පිරිනිවන දකින්නට නොලබන්නෙමි.
230. පෙරාතුවම ආයුසංස්කාරය හැර ලෝකනාථවූ මහර්ෂීන් වහන්සේ විසින් අනුදන්නා ලද්දීවූ මම නිවනට යන්නෙමි.”
231. පන්සියයක් භික්‍ෂුණීන්ගේ අදහසද මෙබඳුම විය. ඛෙමා ආදී භික්‍ෂුණීන්ගේ අදහසද මෙයම විය.
232. එකල්හි භූමිකම්පාවක් විය. දිව බෙර නාද කළහ. භික්‍ෂුණී අසපුවෙහි අධිගෘහිතවූ, ශෝකයෙන් පෙළුනාවූ දෙවිවරු දුක් සහිතවම හඬන්නාහු එහි කඳුළු හෙලූහ.
233. ඒ මිත්‍රවූ භික්‍ෂුණීහු ගෝතමිය වෙත එළඹ හිසින් පාමුල වැටී මෙම වචනය කීහ.
234. “ආර්‍ය්‍යාවෙනි, දියබිඳු ඉසින ලද්දාක් වැනිවූ හෙවත් සිසිල් බැවින් කායික අස්වැසිලි ලැබූ අපි එම අසපුවෙහි විවේකයෙහි යෙදුනේ වෙමු. (එකල්හි) නිශ්චලවූ පෘථිවිතොමෝ චලනය වූවාය. දිව්‍ය භෙරීහු වාදනය කරන ලදහ. හැඬීම්ද ඇසෙත්. ගෝතමීන් වහන්ස, ඒකාන්තයෙන් මෙය කුමක් සඳහා වූවක්ද?”
235. එකල්හි ඒ මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ සිතන ලද පරිදි සියල්ලක් කීවාය. ඒ සියළු භික්‍ෂුණීහුද තම තමන් සිතන ලද පරිදි කීවාහුය.
236. “මනා ව්‍රත ඇති ආර්‍ය්‍යයන් වහන්ස, ඉදින් ශාන්තියවූ උතුම් නිවන (ලැබීම) ඔබ වහන්සේගේ රුචිය නම් බුදුරජාණන් වහන්සේගේ අනුමතිය පරිදි (අපි) සියල්ලෝම පිරිනිවන් පාන්නෙමු.
237. අපි ගිහිගෙහිනුදු, භවයෙනුදු, එක්වම නික්මුනෝ වෙමු. උතුම්වූ නිවන් පුරයටද එක්වම යන්නෙමු” ය (කියායි.)
238. ඒ ප්‍රජාපතී ගෝතමී තොමෝ, “නිවනට යන්නියන්හට කුමක් කියන්නෙම්දැ” යි තෙපලමින් එකල්හි (ඒ) සියළු භික්‍ෂුණීන් සමග අසපුවෙන් නික්මුණාය.