2. 6 නළමාලිකාපදානය.
86. “මම චන්ද්රභාගා නදී තීරයෙහි කිඳුරියක් වීමි. එකල්හි සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස්මරුන් දිනූ, කෙළෙස් රජස් විරහිත බුදුරජුන් දුටිමි.
87. “පහන් සිත් ඇත්තී, සොම්නස්වූවා, හටගත් ප්රීති ඇත්තී, බඳැඳිලි ඇත්තී, (මම) බට මලක් ගෙන බුදුරජුන්හට පිදීමි.
88. “මැනවින් කරණ ලද එම කර්මය කරණකොටගෙනද, චිත්තප්රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
89. “සතිසක් දෙව්රජවරුන්ගේ මෙහෙසිබව කෙළෙමි. මාගේ සිතින් පතන ලද්ද අදහස්වූ පරිදි පහළවේ.
90. “දස සක්විති රජ කෙනෙකුන්ගේ මෙහෙසිබව කෙළෙමි. මම රැස්කළ පින් ඇත්තියක්ව භවයෙහි සැරිසරමි.
91. “මාගේ (කරන ලද) කුශලය විද්යමානවේ. මම අනගාර්ය්ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. අද ශාක්යපුත්රවූ බුදුරජුන්ගේ සසුනෙහි පිදිය යුත්තියක්ද වෙමි.
92. “අද පිරිසිදු සිත් ඇත්තියකි. පහවගිය සිත්හිවූ පව් ඇත්තීය. සියළු ආශ්රවයෝ ක්ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
93. “මින් (පෙර) සිව් අනූවන කපෙහි යම් බුද්ධ පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බට මලක් පිදීමෙහි මේ විපාකයයි.
94. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි. 95. “ඒකාන්තයෙන් බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්රිවිද්යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී. 96. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”
මෙහි මේ අයුරින් නළමාලිකා භික්ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
නළමාලිකාථේරියාපදානං ඡට්ඨං.
2. 7 මහා ප්රජාපතී ගොතමී පදානය
226. එක් කලෙක ලොව බබුළුවන්නාවූ, නරදම්සැරිවූ බුදුරජාණන් වහන්සේ විශාලා නගරයෙහි මහාවනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක.
227. එකල්හි බුදුරජුන්ගේ සුළුමවවූ මහා ප්රජාපතී භික්ෂුණීතොමෝ එම විශාලා නගරයෙහි කරණ ලද රම්යවූ භික්ෂුණී අසපුවක විසුවාය.
228. රහත්වූ පන් සියයක් භික්ෂුණීන් සමග හුදකලාව (විවේකයෙන්) විසූ එම ප්රජාපතී ගොතමියගේ සිතට මෙබඳු අදහසක් ඇතිවිය.
229. “මම බුදුරජුන්ගේ හෝ, අගසව් දෙනමගේ හෝ, රාහුල-ආනන්ද- නන්ද යන සව්වන්ගේ හෝ පිරිනිවන දකින්නට නොලබන්නෙමි.
230. පෙරාතුවම ආයුසංස්කාරය හැර ලෝකනාථවූ මහර්ෂීන් වහන්සේ විසින් අනුදන්නා ලද්දීවූ මම නිවනට යන්නෙමි.”
231. පන්සියයක් භික්ෂුණීන්ගේ අදහසද මෙබඳුම විය. ඛෙමා ආදී භික්ෂුණීන්ගේ අදහසද මෙයම විය.
232. එකල්හි භූමිකම්පාවක් විය. දිව බෙර නාද කළහ. භික්ෂුණී අසපුවෙහි අධිගෘහිතවූ, ශෝකයෙන් පෙළුනාවූ දෙවිවරු දුක් සහිතවම හඬන්නාහු එහි කඳුළු හෙලූහ.
233. ඒ මිත්රවූ භික්ෂුණීහු ගෝතමිය වෙත එළඹ හිසින් පාමුල වැටී මෙම වචනය කීහ.
234. “ආර්ය්යාවෙනි, දියබිඳු ඉසින ලද්දාක් වැනිවූ හෙවත් සිසිල් බැවින් කායික අස්වැසිලි ලැබූ අපි එම අසපුවෙහි විවේකයෙහි යෙදුනේ වෙමු. (එකල්හි) නිශ්චලවූ පෘථිවිතොමෝ චලනය වූවාය. දිව්ය භෙරීහු වාදනය කරන ලදහ. හැඬීම්ද ඇසෙත්. ගෝතමීන් වහන්ස, ඒකාන්තයෙන් මෙය කුමක් සඳහා වූවක්ද?”
235. එකල්හි ඒ මහා ප්රජාපතී ගෝතමී තොමෝ සිතන ලද පරිදි සියල්ලක් කීවාය. ඒ සියළු භික්ෂුණීහුද තම තමන් සිතන ලද පරිදි කීවාහුය.
236. “මනා ව්රත ඇති ආර්ය්යයන් වහන්ස, ඉදින් ශාන්තියවූ උතුම් නිවන (ලැබීම) ඔබ වහන්සේගේ රුචිය නම් බුදුරජාණන් වහන්සේගේ අනුමතිය පරිදි (අපි) සියල්ලෝම පිරිනිවන් පාන්නෙමු.
237. අපි ගිහිගෙහිනුදු, භවයෙනුදු, එක්වම නික්මුනෝ වෙමු. උතුම්වූ නිවන් පුරයටද එක්වම යන්නෙමු” ය (කියායි.)
238. ඒ ප්රජාපතී ගෝතමී තොමෝ, “නිවනට යන්නියන්හට කුමක් කියන්නෙම්දැ” යි තෙපලමින් එකල්හි (ඒ) සියළු භික්ෂුණීන් සමග අසපුවෙන් නික්මුණාය.