87. ඵලදායක ථේරාපදානය
1535. “කුර සහිත අඳුන් දිවිසම් දරන්නාවූ මම පලතුරු ගත් අඅත් ඇත්තේ හිමවත් පව්වෙහිදී ඵුස්ස බුදුරජාණන් වහන්සේ දැක (එම) පලතුරු දුනිමි.
1536. “මම පැහැදි සිතින් යම් පලතුරු දනක් දුනිම්ද, ඒ හේතුවෙන් භවයෙහි උපදින කල්හි මට පලතුරු ලැබේ.
1537. “මින් දෙයානූවන කපෙහි මම යම් පලතුරු දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පලතුරු දානයාගේ මේ විපාකයයි.
1538. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ඵලදායකත්ථෙරස්සාපදානං සත්තමං.
88. සද්ද සඤ්ඤක ථේරාපදානය
1539. “(මම) හිමවතෙහි පන් ඇතිරියක වසමි. (එකල්හි) දහම් දෙසන්නාවූ ඵුස්ස බුදුරජාණන් වහන්සේගේ (මධුර) ස්වරයෙහි සිත පැහැදවීමි.
1540. “මින් දෙයානූවන කපෙහි මම යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (ඒ) පුණ්‍ය කර්‍මයාගේ මේ විපාකයයි.
1541. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්ද සඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සද්දසඤ්ඤකත්ථෙරස්සාපදානං අට්ඨමං.
89. බොධීසිඤ්චක ථේරාපදානය
1542. “විපස්සී බුදුරජාණන් වහන්සේගේ මහා බෝධි පූජාවක් විය. (එකල) පැවිදිව සිටි මම (එම) පූජාවට එළඹියෙමි.
1543. “මම මල් හා (සුවඳ) පැන් ගෙන (ඒ කිණිහිරි) බෝධියට ඉස්සෙමි. (ඉස මෙසේ සිතීමි.) (සර්වඥ තෙම) (සසර දුකින්) මිදුනේ, අපද (ඉන්) මුදවන්නේය. (කෙළෙස් ගින්නෙන්) නිවුනේ, (අපද ඉන්) නිවීමට පමුණුවන්නේය, කියායි.
1544. “මින් එක් අනූවන කපෙහි (කිණිහිරි) බෝධියට යම් (සුවඳ පැන්) ඉසීමක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බෝධියට පැන් ඉසීමේ මේ විපාකයයි.
1545. “තෙතිස්වන කප පවත්නා කල්හි උදය සෙවන නම් ජනාධිපතිවූ ඒ අට සක්විති රජවරු වූහ.
1546. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බොධීසිඤ්චක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
බොධිසිඤ්චකත්ථෙරස්සාපදානං නවමං.
90. පදුමපුප්ඵිය ථේරාපදානය
1547. “මම නෙළුම් වනයට (පොකුණකට) පිවිසියේ, මල් බිඳින්නේ (ගලවන්නේ) දෙතිස් මහ පුරිස් ලකුණෙන් යුත් ඵුස්ස බුදුරජාණන් වහන්සේ දුටිමි.
1548. “මම නෙළුම් මල් ගෙන (එම බුදුරදුන් උදෙසා) අහසට දැමීමි. (හෙතෙම එම) ප්‍රසන්න කර්‍මය (පින්කම) කොට අනාගාර්‍ය්‍ය නම්වූ ශාසනයෙහි පැවිදිවීමි.
1549. “පැවිදිට සංවරණය කළාවූ කයින්ද, සිතින්ද යුතුව වාග් දුශ්චරිතය හැර ආජීවය පිරිසිදු කෙළෙමි