78. පාටලීපුප්ඵිය ථේරාපදානය
36. “එකල්හි මම සියුමැලිවූ, සුවසේ වැඩුණු සිටු පුත්‍රයෙක් වීමි. පළොල් මල් රෙදි පටෙහි (එක්කොට) එය ගෙන ගියෙමි.
37. “(එකල්හි) ඇතුළු වීථියෙහි වඩින්නාවූ, ස්වර්‍ණවර්‍ණවූ, රන් ඇගෑවක් මෙන් බබළන, දෙතිස් මහ පුරිස් ලකුණු ඇති (බුදුරජුන් දුටුවෙමි).
නරශ්‍රේෂ්ඨවූ, (අනාථ) නාථවූ, සියල්ල අවබෝධකළ, තිස්ස බුදුරජාණන් වහන්සේට මම සතුටුවූයේ, සතුටු සිතින් (එම) මල්වලින් පිදීමි. (උන්වහන්සේට) නමස්කාරද කෙළෙමි.
39. “එකල්හි මින් දෙයානූවන කපෙහි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
40. “මෙයින් දෙඅනූවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති අභිසම්මත නම් සක්විති රජෙක් විය.
41. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාටලීපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පාටලිපුප්ඵියත්ථෙරස්සාපදානං අට්ඨමං.
79. ඨිතඤ්ජලීය ථේරාපදානය
42. “මම පෙර මහවනයෙහි මුව වැද්දෙක්වීමි. එහිදී උතුම් ලකුණු ඇති තිස්ස බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
43. “නුදුරු තන්හි නියමිත පත් ඇතිරියෙහි වැඩහුන් උන්හවන්සේට මම ඇඳිලි බැඳ පෙරදිගට මුහුණ ලා ගියෙමි.
44. “එකල්හි මාගේ හිස මත අකුණක් (හෙනයක්) වැටුනි. ඉක්බිති මැරෙන කල්හිද ඒ මම නැවත ඇඳිලි කෙළෙමි.
45. “මින් දෙයානූවන කපෙහිවූ එකල්හි (යම්) ඇඳිලි (බැඳීමක්) කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. අඤ්ජලී කර්‍මයාගේ මේ විපාකයයි.
46. සූපණස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති මිගකේතු නම් සක්විති රජෙක් විය.
47. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඨිතඤ්ජලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ඨිතඤ්ජලියත්ථෙරස්සාපදානං නවමං.
80. තිපදුමිය ථේරාපදානය
48. “සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය, දමනයවූ, දමනය වූවන් විසින් පිරිවරණ ලද, පස්මරුන් දිනූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ නුවරින් නික්මුණු සේක.
49. “එකල්හි මම හංසවතී නගරයෙහි මල්කරුවෙක් වීමි. එහි (ඔහු ගෙනයන මල් රැසෙහි) යම් උතුම් මල් වීද, ඒ මල්වලින් (ඉතා ශෝභාවත් මල් තුනක් හැරගතිමි.
50. “ඇතුළු වීථියෙහි පෙරමගට එන කෙළෙස් රජස් විරහිත බුදුරජාණන් වහන්සේ දුටිමි. එකල්හි ඒ මම බුදුරජාණන් වහන්සේ දැක මෙසේ සිතීමි. (කෙසේද යත්?)
51. “රජුට පිරිනමණ ලද මේ මල්වලින් මට කවර ප්‍රයෝජනද (ඉදින් ප්‍රයෝජනයක් වෙතොත්) මම ගමක් හෝ, ග්‍රාමක්‍ෂෙත්‍රයක් හෝ, දහසක් හෝ ලබන්නෙමි.
52. “නොදැමුනවුන් දමනය කරන්නාවූ, ප්‍රාඥවූ, සියළු සතුන්ට සැප එලවන්නාවූ බුදුරජාණන් වහන්සේ (මේ මලින්) පුදා අමෘත ධනය (නිවණ) ලබන්නෙමියි කියායි.
53. “මම මෙසේ සිතා සිය සිත පැහැදවීමි. එකල්හි ලෙහෙවන් මල් තුනක් ගෙන අහසෙහි දැමීමි.
54. “මා විසින් උඩට දමන ලද කෙණෙහි එම මල් අහසෙහි පැතුරුණාහුය. (තථාගතයන් වහන්සේගේ හිස) මතුයෙහිවූ එහි නැටි උඩුකුරුව, මල් යටිකුරුව (අහසෙහි) දැරුවාහුය.
55. “යම්කිසි මිනිස් කෙනෙක් (එය) දැක මහා සාදු නාද පැවැත්වූවාහුද (එසේම) අහසෙහි දෙවියෝද සාධු නාද පැවැත්වූහ. (කෙසේදයත්?)