76. තිණසත්ථරදායක ථේරාපදානය
22. “හිමවතට නුදුරු තන්හි පියුම් වලින් ගැවසීගත් නා නා පක්ෂීන්ට වාසස්ථානවූ, මහා ජාතස්සරයක් (ඉබේ හටගත් මහ විලක්) විය.
23. “මම එම විලෙහි පැන් බී (විලට) නුදුරු තන්හි වසමි. (එහිදී) අහස් මගෙහි යන ශ්රමණනට අග්රවූ බුදුරජාණන් වහන්සේ දුටිමි.
24. “ලෝකයෙහි (ඊට වඩා වැඩි කෙනෙකුන් නැති බැවින්) අනුත්තරවූ ශාස්තෲන් වහන්සේ මාගේ අදහස දැන අහසින් බැස එකෙණෙහි භූමියෙහි වැඩ සිටි සේක.
25. “මම අඟින් තෘණ ගෙන නිසීදනයක් (කොට) දුනිමි. තිස්ස බුදුරජාණන් වහන්සේ එහි වැඩහුන් සේක.
26. “නැමුණාවූ (ගුණ) මෙනෙහි කරන්නාවූ (මම) විවේකීව වැඩහුන් ලෝකනායකවූ, මහා මුනිවූ බුදුරජාණන් වහන්සේට සිත පහදවා වැන්දෙමි.
27. “එම චිත්ත ප්රසාදය කරණකොටගෙන මම නිර්මාණරතී දෙව්ලොව උපනිමි. දුගතියක් නොදනිමි. මෙය ඇතිරිය පිදීමේ විපාකයයි.
28. මින් දෙවෙනි කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති මිහ නම් සක්විති රජෙක් විය.
29. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණසත්ථරදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තිණසන්ථරදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
77. සුචිදායක ථේරාපදානය
30. “තිස් දහස්වන කපෙහි උතුම් දෙතිස් මහ පුරිස් ලකුණු ඇති නම්න් සුමේධ නම්වූ ලෝක නායකවූ බුදුරජාණන් වහන්සේ ලොව පහළවූ සේක.
31. “තාදී ගුණ ඇති, ස්වර්ණවර්ණවූ, විපදොත්තමවූ ඒ බුදුරජාණන් වහන්සේට සිව්රු මසනු පිණිස මා විසින් හිඳි (කටු) පසක් දෙන ලදී.
32. “එම හිඳි දන කරණකොට ගෙනම දක්ෂ ලෙස අදහස් දක්නා සුළුවූ, තියුණුවූ, සියුම්වූ, පහසුවූ නුවණක් මට උපදින්නේය.
34. “සත් රුවනින් යුත් මහත් බල ඇති දීපදාධිපති නම්වූ සිව් රජ කෙනෙක් වූහ.
33. “මාගේ කෙළෙස් දවන ලදී. සියලු භවයෝ නසන ලදහ. සම්බුදු සසුනෙහි පශ්චිම ශරීරය දරමි.
35. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුචිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සූචිදායකත්ථෙරස්සාපදානං සත්තමං.
78. පාටලීපුප්ඵිය ථේරාපදානය
36. “එකල්හි මම සියුමැලිවූ, සුවසේ වැඩුණු සිටු පුත්රයෙක් වීමි. පළොල් මල් රෙදි පටෙහි (එක්කොට) එය ගෙන ගියෙමි.
37. “(එකල්හි) ඇතුළු වීථියෙහි වඩින්නාවූ, ස්වර්ණවර්ණවූ, රන් ඇගෑවක් මෙන් බබළන, දෙතිස් මහ පුරිස් ලකුණු ඇති (බුදුරජුන් දුටුවෙමි).
නරශ්රේෂ්ඨවූ, (අනාථ) නාථවූ, සියල්ල අවබෝධකළ, තිස්ස බුදුරජාණන් වහන්සේට මම සතුටුවූයේ, සතුටු සිතින් (එම) මල්වලින් පිදීමි. (උන්වහන්සේට) නමස්කාරද කෙළෙමි.
39. “එකල්හි මින් දෙයානූවන කපෙහි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
40. “මෙයින් දෙඅනූවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති අභිසම්මත නම් සක්විති රජෙක් විය.
41. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාටලීපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පාටලිපුප්ඵියත්ථෙරස්සාපදානං අට්ඨමං.
79. ඨිතඤ්ජලීය ථේරාපදානය
42. “මම පෙර මහවනයෙහි මුව වැද්දෙක්වීමි. එහිදී උතුම් ලකුණු ඇති තිස්ස බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
43. “නුදුරු තන්හි නියමිත පත් ඇතිරියෙහි වැඩහුන් උන්හවන්සේට මම ඇඳිලි බැඳ පෙරදිගට මුහුණ ලා ගියෙමි.
44. “එකල්හි මාගේ හිස මත අකුණක් (හෙනයක්) වැටුනි. ඉක්බිති මැරෙන කල්හිද ඒ මම නැවත ඇඳිලි කෙළෙමි.