74. භිසාලුවදායක ථේරාපදානය
13. “මම මහ වනයට පිවිස (එම) වනයෙහි වසමි. ලෝවැසියන්ගේ පූජාවන් පිළිගත්තාවූ නොහොත් පූජාවනට ගෙයක් වැනිවූ විපස්සී බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
14. “(උන්වහන්සේට) අත දෝනා දියෙහිවූ නෙළුඹලද පිදීමි. (ඉක්බිති) හිස නමා (උන්වහන්සේගේ) ශ්‍රීපාදයන් වැඳ, උතුරුදිගට මුහුණලා ගියෙමි.
15. “මින් එක් අනූවන කපෙහිවූ එකල්හි නෙළුම් අල දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (එම) පුණ්‍යකර්‍මයාගේ මේ විපාකයයි.
16. මින් තෙවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති භිස නම් සක්විති රජෙක් විය.
17. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භිසාලුවදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
භිසාලුවදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.
75. එක සඤ්ඤක ථේරාපදානය
18. “විපස්සී බුදුරජාණන් වහන්සේගේ නම්න් චණ්ඩ නම්වූ අග්‍ර ශ්‍රාවකයෙක් විය. ලෝකයාගේ පූජාවන් පිළිගැනීමට සුදුසුවූ, (දක්‍ෂිණාර්‍හ) වූ උන්වහන්සේ කෙරහි මා විසින් එක් භික්‍ෂාවක් දෙන ලදී.
19. “විපදෝත්තමයාණන් වහන්ස, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, එම චිත්ත ප්‍රසාදය හේතුකොටගෙන දුගතියක් නොදනිමි. එක භික්‍ෂාවෙහි මේ විපාකයයි.
20. මින් සතළිස්වන කපෙහි සත් රුවනින් යුත්වූ මහත් බල ඇති වරුණ නම් සක්විති රජෙක් විය.
21. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එක සඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
එකසඤ්ඤකත්ථෙරස්සාපදානං පඤ්චමං.
76. තිණසත්‍ථරදායක ථේරාපදානය
22. “හිමවතට නුදුරු තන්හි පියුම් වලින් ගැවසීගත් නා නා පක්‍ෂීන්ට වාසස්ථානවූ, මහා ජාතස්සරයක් (ඉබේ හටගත් මහ විලක්) විය.
23. “මම එම විලෙහි පැන් බී (විලට) නුදුරු තන්හි වසමි. (එහිදී) අහස් මගෙහි යන ශ්‍රමණනට අග්‍රවූ බුදුරජාණන් වහන්සේ දුටිමි.
24. “ලෝකයෙහි (ඊට වඩා වැඩි කෙනෙකුන් නැති බැවින්) අනුත්තරවූ ශාස්තෲන් වහන්සේ මාගේ අදහස දැන අහසින් බැස එකෙණෙහි භූමියෙහි වැඩ සිටි සේක.
25. “මම අඟින් තෘණ ගෙන නිසීදනයක් (කොට) දුනිමි. තිස්ස බුදුරජාණන් වහන්සේ එහි වැඩහුන් සේක.
26. “නැමුණාවූ (ගුණ) මෙනෙහි කරන්නාවූ (මම) විවේකීව වැඩහුන් ලෝකනායකවූ, මහා මුනිවූ බුදුරජාණන් වහන්සේට සිත පහදවා වැන්දෙමි.
27. “එම චිත්ත ප්‍රසාදය කරණකොටගෙන මම නිර්‍මාණරතී දෙව්ලොව උපනිමි. දුගතියක් නොදනිමි. මෙය ඇතිරිය පිදීමේ විපාකයයි.
28. මින් දෙවෙනි කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති මිහ නම් සක්විති රජෙක් විය.
29. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණසත්‍ථරදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තිණසන්ථරදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
77. සුචිදායක ථේරාපදානය
30. “තිස් දහස්වන කපෙහි උතුම් දෙතිස් මහ පුරිස් ලකුණු ඇති නම්න් සුමේධ නම්වූ ලෝක නායකවූ බුදුරජාණන් වහන්සේ ලොව පහළවූ සේක.
31. “තාදී ගුණ ඇති, ස්වර්‍ණවර්‍ණවූ, විපදොත්තමවූ ඒ බුදුරජාණන් වහන්සේට සිව්රු මසනු පිණිස මා විසින් හිඳි (කටු) පසක් දෙන ලදී.