51. විධුපනදායක ථේරාපදානය
1. “තාදී ගුණ ඇති, ලෝක ජ්යෙෂ්ඨවූ ද්විපදෝත්තමවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට මා විසින් වටාපතක් දෙන ලදී.
2. “සිය සිත පහදවා, ඇඳිලි බැඳ, සම්බුදුන් වැඳ උතුරු දිගට මුහුණ ලා ගියෙමි.
3. “ලෝකයෙහි අසහාය ශාස්තෘවූ, බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා මැද හිඳ, විජිනිය ගෙන මෙම ගාථාවන් වදාළ සේක.
4. “මෙම විජනි දානය කරණකොටගෙනද, චිත්ත ප්රණිධීන් කරණකොටගෙනද, කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියකට නොයයි.
5. “පටන් ගන්නා ලද වීර්ය්ය ඇති, (නිවණ) කෙරෙහි මෙහෙයන ලද සිත් ඇති, සමාධි ගුණයෙන් යුත්, උත්පත්තියෙන් සත් හැවිරිදිවූ මම රහත් බවට පැමිණියෙමි.
6. “සැටදහස්වන කපෙහි “විජමාන” යන සමාදන්වූ නම් ඇති මහා බලවත් සක්විති රජවරු සොළොස් දෙනෙක් වූහ.
7. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් විධුපනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
විධූපනදායකත්ථෙරස්සාපදානං පඨමං.
52. සතරංසි ථේරාපදානය
8. “පුරුෂෝත්තමවූ පදුමුත්තර බුදුරජ තෙම උඩට පැන නැංගාවූ ගලකට නැගී වැඩහුන් සේක. එම පර්වතයට නුදුරෙන් හුන් වේද මන්ත්ර විෂයෙහි පරතෙරට ගිය බමුණෙක්වූ (මම)
9. “(එසේ) වැඩහුන්නාවූ මහා වීරවූ, දේවාති දේව වූ, නරශ්රේෂඨවූ, ලෝකනායකයන් වහන්සේට ඇඳිලි බැඳගෙන (උන්වහන්සේ හා) පිළිසඳර කථා කෙළෙමි.
10. “මෙතෙම උතුම් ධර්මය ප්රකාශ කරන්නාවූ, මහා වීරවූ සර්වඥ තෙමේය. භික්ෂු සංඝයා විසින් පිරිවරණ ලදුයේ ගිනි කඳක් මෙන් බබළයි.
11. “මහ සමුදුර මෙන් නොකැළඹිය හැකිය. සයුර මෙන් තරණය කළ නොහැකිය. සිංහ රජෙකු මෙන් නිර්භිතය. (එසේවූ) පසැස් ඇත්තාවූ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරණ සේක.
12. “ශාස්තෘවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මාගේ අදහස් දැන, භික්ෂු සංඝයා මැද වැඩ සිටි සේක්, මෙම ගාථාවන් වදාළ සේක.
13. “යමෙකු විසින් (සර්වඥයන්හට) ඇඳිලි බඳින ලදද, එසේම යමෙකු විසින් බුද්ධ ශ්රේෂඨ තෙම පසසන ලදද, එසේ කරණ ලද මේ තෙමේ කල්ප තිස් දහසක් දිව්ය රාජ්යය කරන්නේය.
14. “(මින්) කල්ප ලක්ෂයක් ඉක්මගිය කල්හි අංගීරස නම් වූ, බැහැරකළ කෙළෙස් සෙවෙනි ඇති (ගෞතම) බුදුරජ තෙම උපදින්නේය.
15. “හෙතෙම ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට දායාදවූ, ඖරස (බුද්ධ) පුත්රවූ, ධර්මයෙන් නිර්මිත කළාක් වැනිවූ, නම්න් සතරංසිවූ රහත් කෙනෙක් වන්නේය.”
16. “උත්පත්තියෙන් සත් හැවිරිදිවූ මම අනගාර්ය්ය නම්වූ සසුනෙහි පැවිදි වීමි. නම්න් සතරංග වෙමි. මාගේ සිරුරින් පැහැය විහිදේ.
17. “මණ්ඩපයක හෝ, වෘක්ෂ මූලයක හෝ, ධ්යාන කරණ සුළුවූ, ධ්යානයෙහි ඇළුනාවූ, මම සර්වඥ ශාසනයෙහි අන්තිම ශරීරය දරමි.
18. “සැටදහස්වන කපෙහි සත් රුවණින් යුත් මහත් බල ඇති රාම නම්වූ සක්විති රජවරු සිව් දෙනෙක් වූහ.
19. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සතරංසි තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
සතරංසිත්ථෙරස්සාපදානං දුතියං.
53. සයනදායක ථේරාපදානය
20. “සියලු ලෝ වැසියනට අනුකම්පා කරණ සුළුවූ ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට පැහැදි සිතින් සයනයක් පිදීමි.
21. “එම සයන දානය කරණ කොට ගෙන, මැනවින් සරු කෙතක හටගත් සශ්ය සම්පත් මෙන් ඕහට භෝගයෝ උපදිත්. සයන දානයාගේ මේ විපාකයයි.