509. තාලඵලදායක ථේරාපදානය
“සියල්ල තෙමේම අවබෝධ කරගත්, පස්මරුන් දිනූ සතරංසි නම් භාග්‍යවත් තෙමේ විවේකයෙන් (සමාධියෙන්) නැගිට පිඬු පිණිස වැඩි සේක.
“මම (තථාගතයන්) දැක, (තල්) ගෙඩියක් ගත් අත් ඇතිව එම බුදුරජුන් වෙත එළඹියෙමි. (එසේම) මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, (එම) තල්ගෙඩිය දුනිමි.
“මෙයින් සිව් අනූවන කපෙහි වු එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තාලඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තාලඵලදායකත්ථෙරස්සාපදානං නවමං.
510. නාළිකෙරදායක ථේරාපදානය
“එකල්හි මම බන්ධුවතී නගරයෙහි ආරාමිකයෙක් (අරමෙහි වතාවත් කරන්නෙක්) වීමි. අහසෙහි වඩින්නාවූ කෙළෙස් රජස් විරහිත බුදුරජුන් දුටිමි.
“මම නාළිකෙර ඵලයක් (පොල් ගෙඩියක්) ගෙන බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි. මහත් යසස් ඇති බුදුරජතෙමේ අහසෙහි සිටියේම එය පිළිගෙන වදාළ සේක.
“මට ප්‍රීතිය උපදවන්නාවූ, මෙලෙව්හිදීම සුව එලවන්නාවූ (එම) ඵලය පැහැදි සිතින් බුදුරජුන්හට දී,
“එකල්හි මහත්වූ ප්‍රීතියටද, උතුම් සැපයටද පැමිණියෙමි. ඒ ඒ තන්හි මට රුවන් පහළවේ.
“මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් නාලිකේර ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
“මාගේ දිවැස පිරිසිදු විය. මම සමාධියෙහි දක්‍ෂ වෙමි. ඵල දානයාගේ මේ විපාකයයි.
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නාලිකෙර දායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
නාළිකෙරදායකත්ථෙරස්සාපදානං දසමං.
උද්දානං
කණිකාර ද එකපත්ත ද කාසුමාරී ද එසේම අවට ද, වාර ද මාතුලුඞ්ග ද අජෙල අමොද ද, තාල හා නාළිකෙර ද (යන මේවායේ) ගාථාවෝ මෙහි ගණන් කරන ලදහ. ඌනාධිකවිවජ්ජිතව එකසිය එක් ගාථාවකි.
කණිකාරවග්ගො එකපඤ්ඤාසමො.
52. කුරඤ්ඡිය වග්ග
511. කුරඤ්ඡියඵලදායක ථේරාපදානය
“මම පෙර වනයෙහි සැරිසරන්නාවූ වැද්දෙක් වීමි. සියළු දහම්හි කෙළපත්, කෙළෙස් රජස් විරහිත බුදුරජුන් දුටිමි.
“මම කුරඤ්ඡිය ඵලයක් ගෙන වීරවූ, පුණ්‍යක්‍ෂෙත්‍රවූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට පහන්වූයේ, සියතින් දුනිමි.
“මින් එක්තිස්වන කපෙහි යම් ඵලදානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) මම දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.