498. පුලින ථූපිය ථේරාපදානය
5304. “හිමවතට නුදුරෙහි යමක නම් පර්‍වතයක් විය. (එහි) මට මැනවින් කරන ලද අසපුවක් විය. පන්සැලක්ද මොනවට නිම කරන ලදී.
5305. “(මම) නම්න් නාරද නම්වූ, උග්‍ර තපස් ඇති ජටිලයෙක් වෙමි. තුදුස් දහසක් ශිෂ්‍යයෝ මා පිරිවරත්.
5306. “මම එකල්හි විවේකව හුන්නේ, මෙසේ සිතීමි. සියළු ජන තෙමේ මා පුදයි. මම (කිසිවෙකුට) කිසිවක් නොපුදමි.
5307. “මට කිසි ඔවා දෙන්නෙක්ද නැත. (කිසිවෙකුට කරන) කිසි වතාවතකුදු නැත. මම ආචාර්‍ය්‍ය, උපාධ්‍යාය විරහිතව වනයෙහි වෙසෙමි.
5308. “මම යමෙකු වෙත එළඹෙන්නේ නම් හේ (මා කෙරෙහි) ගුරුවරයෙක යන සිත උපදවා ගන්නේය. මට එබඳු ගුරුවරයෙකු නැත. වනයෙහි විසීම නිරර්ත්‍ථකය.
5309. “මම එසේ ගරුභාවනීයවූ උතුමෙකු සොයන්නෙමි. (එබඳු උතුමෙකු) ඇසුරු කෙළේ වසමි. එවිට (කිසිවෙක්) (මට) නොගරහන්නේය.
5310. “නොගැඹුරු ඉවුරු ඇති, මනාවූ කුඩා තොටුපොල ඇති, මනොඥවූ සුදෝ සුදු වැලිතලාවන්ගෙන් ගැවසීගත් කුඩා ගඟක් මගේ අසපුවට නුදුරෙහි විය.
5311. “(එය) අමරිකා නම්වූ නදියකි. එකල්හි මම (එතැනට) එළඹ, වැලි එකතුකොට වැලි සෑයක් (පුලින චෛත්‍යයක්) කෙළෙමි.
5312. “භවය කෙළවර කරන්නාවූ යම් ඒ සර්‍වඥ මුනිවර කෙනෙක් වෙත් නම් මෙබඳුවූ සෑයක් (තනන්නේ) උන්වහන්සේ නිමිතිකොට මම මේ සෑය කරමි.
5313. “වැලිගොඩෙහි සෑයක් කොට මම ස්වර්‍ණ නිර්‍මාණය කෙළෙමි. රන් කිකිණි මල් තුන් දහසක් පූජා කෙළෙමි.
5314. “හටගත් ප්‍රීති ඇත්තේ, බඳින ලද ඇඳිලි ඇත්තේ සවස හා උදයෙහි නමදිමි. සම්බුදුන් හමුයෙහිදී මෙන් පුලින චෛත්‍යය (වැලි සෑය) වඳිමි.
5315. “යම් කලෙක්හි ගිහිගෙට අයත් ක්ලේශ විතර්‍කයෝ හටගනිත්ද, එකෙණෙහි සර්‍වඥ ස්ථූපය සිහි කරමි. ප්‍රත්‍යවෙක්‍ෂා කරමි.
5316. “සාර්ත්‍ථවාහකවූ, විනායකවූ බුදුරජුන් ඇසුරුකොට වසන්නේ, ක්ලේශයන්හි ගැටී වසන්නෙහි නම් නිදුකාණෙනි, (එය) ඔබට නුසුදුසුය.
5317. “එකල්හි සෑය සිහිකළ කෙනෙහි මාගේ සිත්හි ගෞරවය ඇතිවේ. අකුස්සෙන් පෙළන ලද ඇතෙකු මෙන් මිත්‍ථ්‍යා විතර්‍කයන් දුරු කෙරෙමි.
5318. “මෘත්‍යුරාජයා මෙසේ වසන්නාවූ මා වැසීය. මම එහි කළුරිය කළේ, බඹලොවට ගියෙමි.
5319. “මම එහි දිවි ඇතිතාක් වසා, තාවතිංස දෙව්ලොවෙහි උපනිමි. අසූවරක් දේවේන්‍ද්‍රව දිව්‍ය රාජ්‍යය කරවීමි.
5320. “මම තුන්සිය වරක් සක්විති රජ වීමි. (කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිණිය නොහැකිය.