500. පියාල ඵලදායක ථේරාපදානය
5352. “පෙර (මම) මුව වැද්දෙක් වීමි. එකල්හි වනයෙහි හැසිරෙන්නේ සියළු ධර්‍මයන්ගේ පරතෙරට ගිය කෙළෙස් රජස් විරහිත බුදුරජුන් දුටිමි.
5353. “මම පියල් ගෙඩියක් ගෙන පහන්වූයේ, සිය සිතින්ම පින්කෙත්වූ වීරවූ බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
5354. “මින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් (පියල්) දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
5355. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
5356. “ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
5357. “සිවු පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.”
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පියාලඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පියාලඵලදායකත්ථෙරස්ස අපදානං දසමං.
කිඞ්කණිපුප්ඵවග්ගො පඤ්ඤාසමො.
උද්දානය:
කිඞ්කණි, පංසුකූල ද, කොරණ්ඩ ද, අථ කිංසුක ද, උපඩ්ඪදුස්ස, ඝතද, උදක, ථූපකාරක, නවවන නළාගාර ද, පියාලඵලදායක ද (යන මේවායි). ගාථාවෝ එක්සිය එකක් සහ තවත් නවයකි.
අථ වග්ගුද්දානං:
මෙත්තෙය්‍ය වග්ගය, භද්දාලි, සම්මජ්ජක, ඒකවිහාරි, විභීටකී, ජගතී, සාලපුප්ඵිය, නළාගාර, පංසුකූල, තිකිඞ්කණිපුප්ඵිය ද (යන වග මේය). එක්දහස් හාරසිය අසූ දෙකක් ගාථාවෝ වෙත්.
මෙත්තෙය්‍යවග්ගදසකං.
පඤ්චමසතකං සමත්තං.
51. කණිකාර වග්ග
501. තිකණිකාර පුප්ඵිය ථේරාපදානය
“දෙතිස් මහ පුරිස් ලකුණින් යුත් සර්‍වඥවූ සුමේධ නම් භාග්‍යවත් තෙමේ, විවේක සැප කැමැත්තේ හිමවතට එළඹිසේක.
“පුරුෂොත්තමවූ, අග්‍රකාරුණීක බුදුරජතෙම හිමවතට පිවිස පර්‍ය්‍යඞ්කයක් බැඳගෙන (එරමිණිය ගොතාගෙන) වැඩහුන්සේක.
“මම එකල්හි අහසෙහි හැසිරෙන විද්‍යාධරයෙක් වීමි. එකල්හි මැනවින් කරන ලද ත්‍රිශූලායුධයක් ගෙන අහසෙහි යමි.
“කඳු මුදුනෙක්හිවූ ගින්නක් මෙන්ද, පසළොස්වක් පොහෝ දිනයෙහි සඳු මෙන්ද, පිපීගිය සල් රුකක් මෙන්ද බුදුරජතෙම (මෙම) වනයෙහි බබලයි.
“වන මුදුනෙන් නික්ම බුද්‍ධ රශ්මීහු පැතිරෙත්. බට වනයෙහි ඇවිලගත් ගින්නක් මෙන් (බබලන එම රශ්මිය) දැක සිත පැහැදවීමි.
“ඒ මේ අත) සොයන්නේ, දිව්‍යමය සුවඳ ඇති කිණිහිරි මල් දුටිමි. එම මල් තුණක් ගෙන බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට පිදීමි.
“එකල්හි මා විසින් (පුදන ලද) එම ත්‍රි පුෂ්පයෝ (මල් තුණ) බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් නැටි උඩුකුරුව, පෙති යටිකුරුව බුදුරජුන්හට සෙවන කෙරෙති.
“මැනවින් කරන ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.