46. පදුමච්ඡදනීය ථේරාපදානය
83. “එකල්හි අග්ර පුද්ගලවූ විපස්සී බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි (මම) මැනවින් පිපුණු පියුම් ගෙන චිතකයට නැගීමි.
84. “චිතකයට නැගූ කල්හි (එම පියුම්) අහසට නැගුනේය. (එය) අහසෙහි වියනක් කොට චිතකයෙහි දැරීය.
85. “මින් එක් අනූවන කපෙහි යම් මල් පූජාවක් උඩට දැමීම් වශයෙන් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි.
86. “මින් සත්සාළිස්වන කපෙහි සිව් මහ දිවයින් හා සිව් සයුරු කෙළවරකොට ඇති පෘථිවීශ්වරවූ, සතුරු රජුන් ජයගන්නා සුළුවූ, මහත් බල ඇති “පදුමිස්සර” නම් සක්විති රජෙක් වීමි.
87. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුමච්ඡදනිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
පදුමච්ඡදනියත්ථෙරස්සාපදානං ඡට්ඨං.
47. සයනදායක ථේරාපදානය
88. “තාදී ගුණ ඇති, මෛත්රී සිත් ඇති සිද්ධාර්ත්ථ භාග්යවතුන් වහන්සේට, ඇතිරි ආදීවූ දුස්ස භාණ්ඩයන්ගෙන් අතුරණ ලද උතුම් සයනයක් මා විසින් දෙන ලදී.
89. “භාග්යවතුන් වහන්සේ (එම) කැප සයනාසනය පිළිගත් සේක. පස්මරුන් දිනූ බුදුරජතෙම එම අසුනින් නැගිට අහසට නැගුනේය.
90. “මම මින් සිව් අනූවන කපෙහි යම් සයනයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සයන දානයාගේ මේ විපාකයයි.
91. “මින් එක් පණස්වන කපෙහි සත්රුවණින් යුත් මහා බල ඇති වරුණදේව නම් සක්විති රජෙක් වීමි.
92. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සයනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
සයනදායකත්ථෙරස්සාපදානං සත්තමං.
48. චඞ්කමදායක ථේරාපදානය
93. “මම ලෝකජ්යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති, අත්ථදස්සී බුදුරජාණන් වහන්සේට ගඩොලින් බැඳ සක්මනක් කරවීමි.
94. “(එය) මැනවින් කටයුතු නිම කරණ ලද්දකි. උඩින් පස් රියනකි. දිගින් රියන් සියයකි. සුදුසුය. මනොඥයි.
95. “නර ශ්රේෂ්ඨවූ අත්ථදස්සී භාග්යවත් තෙම (එම සක්මණ) පිළිගත් සේක. අතින් (එහි) වැලි (ටිකක්) ගෙන මෙම ගාථාවන් වදාළ සේක.
96. “මෙම වැලි (දමා) දීමේ හේතුවෙන්ද, සක්මණ මැණවින් කරණ ලද හේතුවෙන්ද, සත් රුවණින් යුත් වැළි (පරිභෝගයට) ලබන්නේය.
97. “තුන් කපක් මුළුල්ලෙහි දෙවියන් අතර දිව්ය රාජ්යය අනුභව කරන්නේය. දිව්යප්සරාවන් විසින් පිරිවරණ ලදුයේ, (දිව්ය) සම්පත් අනුභව කරන්නේය.
98. “මිනිස් ලොවට පැමිණ රටෙහි රජ වන්නේය. හෙතෙම තෙවරක් පෘථිවියෙහි සක්විති රජ වන්නේය” යි කියායි.
99. “එක්දහස් අටසියවන කල්පයෙහි වූ එකල්හි (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. චඞ්ක්රමණ දානයාගේ මේ විපාකයයි.
100. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චඞ්කමදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
චඞ්කමනදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.
49. සුභද්ද ථේරාපදානය
101. “පූජාවන් පිළිගන්නාවූ නොහොත් පූජාවන් (රැස්වන) ගෙයක් වැනිවූ, පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මහා යසස් ඇත්තේ, ජන සමූහයා (සසරින්) නගා සිටුවා පිරිනිවන් පානා සේක.
102. “(එම) බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානා කල්හි දසදහසක් සක්වල කම්පාවිය. (රැස්වූ) විශාල ජන සමූහයාද විය. එකල්හි දෙවියෝද රැස්වූහ.
103. “තුවරලා, බෝලිද්දවලින් පුරවා සතුටුවූයේ, සතුටු සිතින්ම (පරිනිර්වාන මඤ්චකයෙහි වැඩ සිටි තථාගතයන් වහන්සේගේ) බුදු සිරුර සඳුන් ආලේප කරවීමි.
104. “ලෝකයෙහි නිරුත්තරවූ, ශාස්තෘවූ, සම්බුදු රජ තෙම (පරිනිර්වාණ මඤ්චකයෙහි) හෝනේම මාගේ අදහස් දැන මෙම ගාථාවන් වදාළ සේක.
105. “යමෙක් මාගේ අන්තිම කාලයෙහි (මා) ගඳ මල්වලින් වැසීද, ඔහු (කවරෙක්දැයි) මම කියන්නෙමි. (එසේ) කියන්නාවූ මාගේ වචනය අසව්.
106. “මේ පුරුෂ තෙමේ මින් චුතව තුෂිත දෙව්ලොවට යන්නේය. හෙතෙම එහි රාජ්යකොට නිර්මාණරති චෙව්ලොවට යන්නේය.
107. “මේ ක්රමයෙන් අති උතුම් මල් පුදා පටන්ගත් සිය කටයුතු ඇති හෙතෙම සම්පත් අනුභව කරන්නේය.
108. “මේ මිනිස්තෙම නැවත තුෂිත දෙව්ලොව උපදින්නේය. එම ආත්ම භාවයෙන් චුතව මිනිසත් බවට පැමිණෙන්නේය.
109. “ශාක්ය පුත්රවූ, මහෝත්තමවූ, දෙවියන් සහිත ලෝකයෙහි අග්ර පුද්ගලවූ, පසැස් ඇති ගෞතම බුදුරජ තෙම බොහෝ සත්ත්වයනට ධර්මාවබෝධය කරවා පිරිනිවන් පාන්නේය.