44. සන්නිධාපක ථේරාපදානය
1184. (මම) ලාභ අලාභ දෙකින්ද, යසස අයස දෙකින්ද, (සමසේ) සතුටුවූයේ, කඳු අතරෙහි වූ අරණෙහි කුටියක් කොට (ගෙන) වෙසෙමි.
1185. පූජාවන් පිළිගන්නාවූ නොහොත්, පූජාවනට ගෘහයක් වැනිවූ, පදුමුත්තර බුදුරජතෙම සියක් දහසක් භික්‍ෂූන් විසින් පිරිවරණ ලදුයේ මාගේ සමීපයට පැමිණියේය.
1186. එළඹ සිටි පදුමුත්තර නම්වු මහා වීරයන් වහන්සේ (දැක) ශාස්තෲන් වහන්සේට තෘණ ඇතිරියක් පණවා දුනිමි.
1187. පැහැදුණු සිත් ඇති සොම්නස්වූ මම ඎජු ගුණ ඇති බුදුරජාණන් වහන්සේට පහන් සිතින් නෙල්ලිද, පැන්ද දුනිමි.
1188. මින් කල්ප ලක්‍ෂයකින් පෙරවූ එකල්හි (මම) යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. නෙල්ලි දානයාගේ මේ ඵලයයි.
1189. එක්සාලිස්වන කපෙහි සත්රුවණින් යුක්තවූ, මහත් බල ඇති, අරින්දම නම් සක්විති රජෙක් වීමි.
1190. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
ඉත්ථං සුදං ආයස්මා සන්නිට්ඨාපකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
සන්නිට්ඨාපකත්ථෙරස්සාපදානං චතුත්ථං.
45. පඤ්චහත්‍ථිය ථේරාපදානය
77. “යටට හෙළන ලද ඇස් ඇති, ප්‍රමාණවත් වචන ඇති, සිහියෙන් යුත්, සංවරණය කරණ ලද ඉඳුරන් ඇති, සුමේධ නම් බුදුරජතෙම ඇතුළු වීථියෙහි වඩනා කල්හි,
78. “මුදුන් මල්කඩ පිණිස මා විසින් පසක් (පමණවූ) උත්පල මුෂ්ටීහු ගෙන එන ලද්දාහුය. මම පහන්වූයේ ඉන් (එම මල්වලින්) සියතින්ම බුදුන් පිදීමි.
79. “උඩට නැගුනු ඒ මල් බුදුරජාණන් වහන්සේට වියනක් විය. (එම) සියලු පුෂ්පයෝ ශිෂ්‍යයෝ ගුරුවරයෙකුට මෙන් බුදුරජාණන් (වහන්සේ) සමගම ගියාහුය.
80. “මින් දහස්වන කපෙහි යම් (මල් රැසකින් බුදුරජුන්හට) උඩට දැමුවෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි විපාකයයි.
81. “මින් දෙදහස්වන කපෙහි නම්න් හත්‍ථියා නම්වූ මහත් බල ඇති සක්විති රජවරු පස්දෙනෙක් වූහ.
82. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පඤ්චහත්‍ථිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
පඤ්චහත්ථියත්ථෙරස්සාපදානං පඤ්චමං.
46. පදුමච්ඡදනීය ථේරාපදානය
83. “එකල්හි අග්‍ර පුද්ගලවූ විපස්සී බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි (මම) මැනවින් පිපුණු පියුම් ගෙන චිතකයට නැගීමි.
84. “චිතකයට නැගූ කල්හි (එම පියුම්) අහසට නැගුනේය. (එය) අහසෙහි වියනක් කොට චිතකයෙහි දැරීය.
85. “මින් එක් අනූවන කපෙහි යම් මල් පූජාවක් උඩට දැමීම් වශයෙන් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි.
86. “මින් සත්සාළිස්වන කපෙහි සිව් මහ දිවයින් හා සිව් සයුරු කෙළවරකොට ඇති පෘථිවීශ්වරවූ, සතුරු රජුන් ජයගන්නා සුළුවූ, මහත් බල ඇති “පදුමිස්සර” නම් සක්විති රජෙක් වීමි.
87. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුමච්ඡදනිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
පදුමච්ඡදනියත්ථෙරස්සාපදානං ඡට්ඨං.
47. සයනදායක ථේරාපදානය
88. “තාදී ගුණ ඇති, මෛත්‍රී සිත් ඇති සිද්‍ධාර්ත්‍ථ භාග්‍යවතුන් වහන්සේට, ඇතිරි ආදීවූ දුස්ස භාණ්ඩයන්ගෙන් අතුරණ ලද උතුම් සයනයක් මා විසින් දෙන ලදී.
89. “භාග්‍යවතුන් වහන්සේ (එම) කැප සයනාසනය පිළිගත් සේක. පස්මරුන් දිනූ බුදුරජතෙම එම අසුනින් නැගිට අහසට නැගුනේය.
90. “මම මින් සිව් අනූවන කපෙහි යම් සයනයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සයන දානයාගේ මේ විපාකයයි.
91. “මින් එක් පණස්වන කපෙහි සත්රුවණින් යුත් මහා බල ඇති වරුණදේව නම් සක්විති රජෙක් වීමි.
92. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සයනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
සයනදායකත්ථෙරස්සාපදානං සත්තමං.
48. චඞ්කමදායක ථේරාපදානය
93. “මම ලෝකජ්‍යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති, අත්‍ථදස්සී බුදුරජාණන් වහන්සේට ගඩොලින් බැඳ සක්මනක් කරවීමි.
94. “(එය) මැනවින් කටයුතු නිම කරණ ලද්දකි. උඩින් පස් රියනකි. දිගින් රියන් සියයකි. සුදුසුය. මනොඥයි.
95. “නර ශ්‍රේෂ්ඨවූ අත්‍ථදස්සී භාග්‍යවත් තෙම (එම සක්මණ) පිළිගත් සේක. අතින් (එහි) වැලි (ටිකක්) ගෙන මෙම ගාථාවන් වදාළ සේක.