50. චුන්ද ථේරාපදානය
125. “ලෝක ජ්යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති, සිද්ධාර්ත්ථ බුදුරජාණන් වහන්සේට තොරණක් කරවා දෑසමන් මලින් වැසීමි.
126. “ඒ මල් (වඩා) නිමවා බුදුරජාණන් වහන්සේට පිළිගැන්වීමි. ඉතිරි මල් ගෙන බුදුරජාණන් වහන්සේගේ මතුයෙහි විසුරුවා හැරීමි.
127. “පහන් සිතින් යුත් සොම්නස්වූ (මම) රන් ඇගෑවක් සේ බබළන බුදුරජුන්ට මල් ඇගෑව පිළිගැන්වීමි.
128. “ඉක්මවූ සැක ඇති බුදුරජාණන් වහන්සේ ඉක්මවූ සැක ඇත්තවුන් (රහතුන්) විසින් පිරිවරණ ලදුයේ මෙම ගාථාවන් වදාළ සේක.
129. “යමෙක් මට දිව සුවඳ වහනය වන්නාවූ පල් ඇගෑවක් දුන්නේද, හේතු කවරෙක්දැයි මම කියන්නෙමි. එසේ කියන්නාවූ මාගේ වචනය අසව්.
130. “මේ පුරුෂ තෙමේ මින් චුතවූයේ, දිව්ය සමූහයා විසින් පිරිවරණ ලදුයේ, සමන් මල්වලින් ගැවසී ගත්තේ දෙව්ලොවට යන්නේය.
131. “ඕහට පුණ්ය කර්මයෙන් හටගත්තාවූ ස්වර්ණමයවූද, මණිමයවූද, පැන නැගුණු සඳළු සහිත විමානයක් පහළ වන්නේය.
132. “හෙතෙම සූසැත්තෑවරක් දිව්ය රාජ්යය කරන්නේය. දිව්යප්සරාවන් විසින් පිරිවරණ ලදුයේ, සම්පත් අනුභව කරන්නේය.
133. “තෙසිය වරක් පෘථිවි රාජය්ය ලැබ, පොළොවෙහි වාසය කරන්නේය. පන් සැත්තෑ වරක් සක්විති රජ වන්නේය.
134. “(සතුරන් විසින්) නොදක්නා ලද නම්න් දුජ්ජය නම් රජෙක් වන්නේය. ස්වකීය කර්මයවූ එම පුණ්ය (විපාකය) අනුභව කොට
135. “දුගතියකට නොගොස් මිනිසත් බවට යන්නේය. රැස් කරණ ලද බොහෝවූ රන් කෙළ සිය ගණන් පහළ වන්නේය.
හෙතෙම බ්රාහ්මණ කුළයෙහි උපදින්නේය. වඞ්ගන්ත බ්රාහ්මණයාගේද, ශාරී බැමිණියගේද, ප්රියවූ, ප්රාඥවූ ඖරස පුත්රයෙක් වන්නේය.
137. “හෙතෙමේද පසුව සම්බුදු සසුනෙහි පැවිදිව නම්න් චූලචුන්ද නම්වූ බුද්ධ ශ්රාවකයෙක් වන්නේය.
138. “හෙතෙම සාමණේර වූයේම රහත් වන්නේය. සියලු ආශ්රවයන් ප්රහාණ පරිඥා වශයෙන් දැන (දුරුකොට) ආශ්රව රහිතව පිරිනිවන් පාන්නේය.”
139. “මහාවීරවූ බුදුරජාණන් වහන්සේටද අනික් පෙශලවූ බොහෝ සංඝයාටද උපස්ථාන කෙළෙමි. උත්තමාර්ත්ථයට (රහත් බවට) පැමිණීම පිණිස මාගේ සොහොයුරු (සාරීපුත්ර) හට උවැටැන් කෙළෙමි.
140. “මාගේ සොහොයුරාට උවැටැන් (වත් පිළිවෙත්) කොට (උන්වහන්සේ පිරිනිවි කල්හි) ධාතූන් පාත්රයෙහි බහාගෙන ලෝකජ්යෙෂ්ඨවූ, නර ශ්රේෂ්ඨවූ, බුදුරජාණන් වහන්සේට පිළිගැන්වීමි.
141. “දෙවියන් සහිත ලෝකයෙහි සර්වඥවූ (බුදුරජ තෙම) එය දොහොතින් පිළිගෙන දක්වමින් එය අග්රශ්රාවක ධාතුයයි පැවසූ සේක.
142. “මාගේ ශ්රද්ධා තොමෝ මැනවින් පිහිටුවන ලද්දීය. මාගේ සිත (කෙලෙසුන්ගෙන්) මැනවින් මිදුනේය. සියළු ආශ්රවයන් ප්රහාණ පරිඥා වශයෙන් දැන (දුරුකොට) ආශ්රව රහිතව වෙසෙමි.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චුන්ද තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
චුන්දත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
උපාලි ද, සෝණ ද, භද්දිය ද, සන්තිට්ඨාපක ද, හත්ථිය ද, ඡදන ද, සෙය්ය ද, චඞ්කම ද, සුභද්ද ද, චුන්ද යන මොහු ද වෙත්. ගාථා එකසිය සතළිස් හතරක් ද වෙත්.
උපාලිවග්ගො පඤ්චමො.
6. වීජනි වග්ග
51. විධුපනදායක ථේරාපදානය
1. “තාදී ගුණ ඇති, ලෝක ජ්යෙෂ්ඨවූ ද්විපදෝත්තමවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට මා විසින් වටාපතක් දෙන ලදී.
2. “සිය සිත පහදවා, ඇඳිලි බැඳ, සම්බුදුන් වැඳ උතුරු දිගට මුහුණ ලා ගියෙමි.
3. “ලෝකයෙහි අසහාය ශාස්තෘවූ, බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා මැද හිඳ, විජිනිය ගෙන මෙම ගාථාවන් වදාළ සේක.
4. “මෙම විජනි දානය කරණකොටගෙනද, චිත්ත ප්රණිධීන් කරණකොටගෙනද, කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියකට නොයයි.
5. “පටන් ගන්නා ලද වීර්ය්ය ඇති, (නිවණ) කෙරෙහි මෙහෙයන ලද සිත් ඇති, සමාධි ගුණයෙන් යුත්, උත්පත්තියෙන් සත් හැවිරිදිවූ මම රහත් බවට පැමිණියෙමි.
6. “සැටදහස්වන කපෙහි “විජමාන” යන සමාදන්වූ නම් ඇති මහා බලවත් සක්විති රජවරු සොළොස් දෙනෙක් වූහ.
7. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් විධුපනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
විධූපනදායකත්ථෙරස්සාපදානං පඨමං.