486. ධාතු පූජක ථේරාපදානය
5135. “ලෝකනායකවූ සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන් පිරිනිවි කල්හි මම මාගේ ඥාතීන් රැස්කොට ධාතු පූජාවක් කෙළෙමි.
5136. “මින් සිව් වන කපෙහි යම් ධාතු පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ධාතු පූජාවෙහි මේ විපාකයයි.
5137. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
5138. “ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
5139. සිවු පිළිසිඹියාවෝ ද අෂ්ට විමොක්ෂයෝ ද ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධාතු පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ධාතුපූජකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
487. පුලිනුප්පාද ථේරාපදානය
හිමවත් පව්වෙහි දෙවල නම්වූ තවුසෙක් විය. එහි අමනුෂ්‍යයන් විසින් මවන ලද මාගේ සක්මණ විය.
එකල්හි දළමළුඩු බරින් බරවූ කමඬලා (පැන් කෙණ්ඩි) දරන්නාවූ උත්තමාර්ත්‍ථයවූ නිවන සොයන (මම) වනයෙන් නික්මුනෙමි.
එකල්හි මට අසූහාරදහසක් ශිෂ්‍යයෝ උවටැන් කළාහුය. (ඔවුහු) ස්වකීය කටයුතුවල යෙදුනාහු වනයෙහි වෙසෙත්.
අසපුවෙන් නික්ම වැලි සෑයක් කෙළෙමි. නොයෙක් මල් රැස්කොට එම සෑය පිදීමි.
මම එහි සිත පහදවා අසපුවට පිවිසියෙමි. සියළු ශිෂ්‍යයෝ රැස්ව මාගෙන් මෙම කරුණ විචාළාහුය.
“ඔබ වැලියෙන් කළ සෑයක්හි යම් දෙවියෙකුට නමස්කාර කෙරෙහිද, (එම දෙවියා) අපිදු දැන ගැනීමට කැමැත්තෙමු. අප විසින් විචාරණ ලද ඔබ අපට (එය) කියනු මැනව.”
“අප විසින් මන්ත්‍ර පදයෙහි දක්වන ලද මහත් යසස් ඇති බුදුවරු වෙති. මම මහත් යශස් ඇති එම බුද්ධ ශ්‍රේෂ්ඨයන් නමදින්නෙමි.
“ඒ මහාවීරවූ, සර්‍වඥවූ ලොකනායකවරයෝ කෙබඳු වෙත්ද? කෙසේවූ සටහන් ඇත්තෝ වෙත්ද? කෙසේවූ ස්වභාව ඇත්තෝ වෙත්ද? ඒ මහත් යසස් ඇත්තෝ කෙබඳු වූවෝ වෙත්ද?
“බුදුවරයෝ දෙතිස් (මහපුරිස්) ලකුණු ඇත්තෝය. සතළිසක් දත් ඇත්තෝය. උන්වහන්සේලාගේ වස්සෙකුගේ බඳු ඇස් පිහාටු ඇති, ඔලිඳ ගෙඩි වැනි නේත්‍රයෝ වෙති.
“ගමන් කරන්නාවූ බුදුවරයෝ වියගහ පමණ දුර බලත්. උන්වහන්සේලාගේ දණහිස් ශබ්ද නොකරයි. (අත් පා ආදී) සන්ධීන්හි ශබ්දයක් නොඇසේ.
“ගමන් කරන්නාවූ බුදුවරයෝ පළමුකොට දකුණු පය ඔසවමින් (පෙරට තබමින්) යන්නාහ. මේ බුදුවරයන්ගේ ධර්‍මතාවකි.
“ඒ බුදුවරයෝ කෙශර සිංහරාජයන් මෙන් නිර්භීතය. තමා උසස්කොට නොදක්වත්. ප්‍රාණීන් හෙලා නොදකිත්.