480. පුලින චඞ්කමිය ථේරාපදානය
5025. මම පෙර මහා වෙනෙහි මුව වැද්දෙක් වීමි. මම වාත මෘගයෙකු සොයන්නේ සක්මණක් දුටුවෙමි.
5026. මම ඔඩොක්කුවෙන් වැලි ගෙන පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, ශ්‍රීමත්වූ බුදුරජුන්හට සක්මණෙහි ඉස්සෙමි.
5027. මින් තිස්වන කපෙහි මම (යම්) වැලි ඉසීමක් කෙළම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුලින දානයාගේ මේ විපාකයයි.
5028. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
5029. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
5030. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුලින චඞ්කමිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පුලිනචඞ්කමියත්ථෙරස්සාපදානං දසමං.
උද්දානං:
නළමාලී ද, මණිදද ද, උක්කාසතික ද, වීජනී ද, කුම්මාස ද, කුසට්ඨ ද, ගිරිපුන්නාගිය ද, වල්ලිකාර ද, පානධිද ද, පුලිනචඞ්කම ද (යන මොවුහු වෙත්). ගාථාවෝ අනූ පහක් බව නුවණැත්තන් විසින් දත යුතුය.
නළමාලිවග්ගො අට්ඨචත්තාලීසමො.
49. පංසුකූල වග්ග
481. පංසුකූල සඤ්ඤක ථේරාපදානය
5031. “සියල්ල තෙමේම දත් අග්‍ර පුද්ගලවූ තිසස නම් බුදුවරයෙක් තෙම විය. (එම) සර්‍වඥ තෙම පවුල් (පාංශුකූල) සිවුරු තබා විහාරයට පිවිසිසේක.
5032. “මම නවන ලද දුන්න ගෙන අහර පිණිස (වනයෙහි) හැසිරෙන්නෙමි. කඩුව ගෙන මම වනයට පිවිසියෙමි.
5033. “එකල්හි එහිදී ගසක් මුදුනෙහි එල්වන ලද පවුල් සිවුර දිකීමි. (දැක) දුන්න එහිම තබා සිරසෙහි ඇඳිලි බැඳ,
5034. “මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, මහත්වූ ප්‍රීතියෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් සිහිකොට පංශුකූල චීවරයට වැන්දෙමි.
5035. “මම මින් දෙයානූවන කපෙහි පසුල් සිවුරට වැන්දෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වන්දනාවෙහි මේ විපාකයයි.
5036. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
5037. “ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
5038. සිවු පිළිසිඹියාවෝ ද අෂ්ට විමොක්ෂයෝ ද ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පංසුකූල සඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පංසුකූලසඤ්ඤකත්ථෙරස්සාපදානං පඨමං.
482. බුද්ධ සඤ්ඤක ථේරාපදානය
5039. “(මම) ලක්‍ෂණ ශාස්ත්‍ර ඉතිහාසයෙහිද, නිඝණ්ඩු සහිතවූ කවීන්ට හිත ක්‍රියා කල්ප විකල්ප නම්වූ කෙටුභ ශාස්ත්‍රයෙහිද, ත්‍රිවේදයෙහිද පරතෙරට ගිය මන්ත්‍ර හදාරන්නාවූ මන්ත්‍රධරයෙක් වීමි.
5040. “එකල්හි ගඟ සැඩ පහරක් මෙන් මාගේ සමීපයට ශිෂ්‍යයෝ එති. දිවා රෑ දෙක්හි අනලස්වූයේ ඔහුනට මම මන්ත්‍ර හදාරවමි.
5041. “එකෙණෙහි සිද්‍ධාර්ත්‍ථ නම් සම්බුදුරජතෙමේ ලොව පහළවිය. (මෝහ නමැති) ගනඳුර නසා ඥානාලෝකය පැවැත්වූහ.
5042. “මාගේ එක්තරා ශිෂ්‍යයෙක් විය. හෙතෙම මාගේ සෙසු සිසුනට මෙය කීය. එකල්හි ඔවුහු මෙය අසා මට සැළකළාහුය.
5043. “සර්‍වඥවූ, ලෝකනායකවූ බුදුරජතෙම ලොව පහළවිය. ජනතෙමේ උන්වහන්සේට අනුවර්‍තනය වේ. අපට ලාභයක් නොවන්නේය (කියායි.)
5044. “මහත් යශස් ඇති, පසැස් ඇත්තාවූ බුදුවරයෝ (දිව්‍ය බ්‍රහ්මාදී කිසිවෙකුන්ගේ උපදේශ හේතු විරහිතව) ලොව පහළවන්නෝ වෙති. ලෝකනායකවූ (එම) බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ දකින්නෙම් නම් ඉතා යෙහෙකැයි (මම සිතීමි.)
5045. “(සිතා) මාගේ අඳුන්දිවි සමද, වැහැරි සිවුරුද, පැන්කෙණ්ඩියද ගෙන, අසපුවෙන් නික්ම, සිසුනට ඇමතීමි.