471. නළමාලිය ථේරාපදානය
4936. ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, වනය මතුයෙහි (අහසින්) ගමන් කරන්නාවූ, ලෝකනායකවූ, ස්වර්ණවර්ණවූ සම්බුදුරජුන් දුටිමි.
4937. එකෙණෙහි (මම) බට මලක් ගෙන නික්මෙන්නේම එහිදී චතුරෝඝයන් තරණය කළාවූ ආශ්රව රහිතවූ සම්බුදුරජුන් දුටිමි.
4938. පහන් සිත් ඇති, සොම්නස්වූ මම දක්ෂිණාර්හවූ, මහාවීරවූ, සියළු ලොවට අනුකම්පා කරන්නාවූ බුදුරජුන්හට (එම) මල පිදීමි.
4939. මින් තිස්එක්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
4940. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
4941. ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්රිවිද්යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
4942. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
ඉත්ථං සුදං ආයස්මා නළමාලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
නළමාලියත්ථෙරස්සාපදානං පඨමං.
472. මණිපූජක ථේරාපදානය
4943. සියළු ධර්මයන්හි පරතෙරට ගිය පදුමුත්තර නම්වූ පස්මරුන් ජයගත්, විවේක සැප කැමැති බුදුරජතෙම අහස් මගෙහි වඩියි.
4944. හිමවතට නුදුරෙහි මහත්වූ ස්වයංජාත විලක් විය. එහි පුණ්යකර්මය සහ යෙදුනු හෙවත් එම පිණින් පහළවූ මාගේ භවනය විය.
4945. භවනයෙන් නික්ම (පිටතට ආ කල්හි) නිළුපුල් මල් මෙන් දිලිසෙන ඇවිලගත් ගින්නක් වැනි ලෝකනායකවූ බුදුරජුන් දිටිමි.
4946. බුදුරජුන්හට පුදන්නෙමැයි සොයන්නේ (සුදුසු) මලක් නොදුටිමි. මම සිය සිත පහදවා ශාස්තෘන් වහන්සේට වැන්දෙමි.
4947. (මම) මාගේ හිසෙහිවූ මැණික ගෙන, “මෙම මැණික් දනෙහි යහපත් විපාකයක් වේවා” යි ලෝකනායකවූ බුදුරජුන්හට පිදීමි.
4948. ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ ශාස්තෘවූ අහසෙහි (සිටියාවූ) පදුමුත්තර බුදුරජතෙම මෙම ගාථාව වදාළ සේක.
4949. තාගේ ඒ අදහස සමෘද්ධ වේවා. මහත්වූ සැප ලබහිවා. මෙම මැණික් පූජාවෙන් මහත් යසස් අනුභව කරව.
4950. භාග්යවත්වූ පදුමුත්තර නම්වූ බුද්ධශ්රේෂ්ඨ තෙමේ මෙම වචනය වදාරා වැඩි සේක. (මා) යම් (ප්රාර්ත්ථනාවක) සිත පිහිටුවන ලදද,
4951. (ඒ හේතුවෙන්) කල්ප සැටක් දෙවනුව දිව්ය රාජ්යය කරවීමි. (එසේම) මම සියක්වර සක්විතිරජ වීමි.
4952. පූර්වකර්මය සිහිකරන්නාවූ දෙවිවූ මට ආලෝකවත් කරන්නාවූ මාගේම මැණික් පහළ වේ.
4953. මාගේ පිරිවර සුවාසූ දහසක් ස්ත්රීහු විසිතුරු වස්ත්රාභරණ ඇත්තාහුය. පළඳින ලද මිණිකොඬොල් ඇත්තාහුය.
4954. දිග ඇස් පිහාටු ඇත්තාහුය. සිනා සහිත වූවෝය. මැනවැයි හැඳින්විය යුතු ශරීරාවයව ඇත්තේය. (එම ස්ත්රීහු) නිතර මා පිරිවරත්. මිණි පූජාවෙහි විපාකයයි.