469. සයම්පටිභාණිය ථේරාපදානය
බබලන්නාවූ (පිපුනු) කුඹුක් ගසක් වැනිවූ, දේවාතිදේවවූ, නරශ්‍රේෂ්ඨවූ, වීථියට පිළිපන්නාවූ බුදුරජුන් දැක කවරෙක් නම් නොපහදීද?
(මෝහ නමැති) ඝනාන්‍ධකාරය නසා බොහෝ දෙන (සසරින්) එතරකොට ඥාන ලෝකයෙන් බබලන්නාවූ බුදුරජුන් දැක කවරෙක් නම් නොපහදීද?
රහතුන් ලක්‍ෂයක් සමග වඩින්නාවූ, ලෝක නායකවූ, බොහෝ සත්ත්‍වයන් දුකින් ගොඩලන්නාවූ බුදුරජුන් දැක කවරෙක් නම් නොපහදීද?
දහම් බෙරය ගසන්නාවූ, තීර්ත්‍ථක සමූහයා මඩින්නාවූ, සිහනද (ශ්‍රේෂඨ නාද) කරන්නාවූ බුදුරජුන් දැක කවරෙක් නම් නොපහදීද?
බඹලොවින් යම්තාක් බඹුන් සහිත (දෙවියෝ) අවුත් සියුම් පැණ විචාරත්ද, (ඒ බුදුරජුන්) දැක කවරෙක් නම් නොපහදිත්ද?
දෙවියන් සහිත ලෝකයා යම් උතුමෙකුට ඇඳිලි බැඳ අයදිත්ද, එයින් (ඔවුහු) පින් (ඵල) අනුභව කෙරෙත්ද, ඒ බුදුරජුන් දැක කවරෙක් නම් නොපහදීද?
සියලු දෙන රැස්ව බුදුරජුන් පවරත්. එසේ ආරාධනය කරන ලදුයේ කම්පා නොවේ. (එම බුදුරජුන්) දැක කවරෙක් නම් නොපහදීද?
නුවරට පිවිසෙන්නාවූ යමෙකුට බොහෝ භෙරීහු (බෙර) නාද කෙරෙත්ද, මත්ත හස්තීහු විශේෂයෙන් නාද කෙරෙත්ද, (එම බුදුරජුන්) දැක කවරෙක් නම් නොපහදීද?
හැම කල්හි වීථියෙහි ගමන් කරන්නාවූ යමෙකුගේ (සිරුරින්) සියළු පැහැ බබලමින් විහිදේද, (භූමියෙහි) උස් ස්ථානයෙහි (පා තබනවිට) කවරෙක් නම් නොපහදීද?
බුදුරජුන් දහම් දෙසන කල්හි (මුළු) සක්වළෙහිම ඇසේද, ඒ බුදුරජතෙම සියළු සත්ත්‍වයන් (එම) ධර්‍මයෙන් අවබෝධ කරවති. (එම) බුදුරජුන් දැක කවරෙක් නම් නොපහදීද?
මින් සියක් දහස්වන කපෙහි බුදුරජුන්හට (මෙසේ) යම් ස්තූතියක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුදුරජුන්හට පැසසීමෙහි මේ විපාකයයි.
මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සයම්පටිභාණිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සයම්පටිභාණිය ථෙරුන්ගේ අපදානය නවවැනියි.
470. නිමිත්තව්‍යාකරණිය ථේරාපදානය
මම එකල්හි හිමවතට පිවිස මන්ත්‍ර කියවමි. සූපණස් දහසක් ශිෂ්‍යයෝ මට උවටැන් කළාහුය.
වේද හදාරණ ලද්දාවූ, සියලු වේදය දත්, ෂඩඞ්ගයෙහි වෙදාඞ්ග පරතෙරෙට ගියාවූ ස්වකීය විද්‍යාවන්ගෙන් ස්ථිරබවට පැමිණියාවූ ඔවුහු හිමවතෙහි වසත්.
මහත් යසස් ඇති (බොධිසත්ත්‍ව) දිව්‍යපුත්‍රතෙම තුසිත දෙව්ලොවින් ච්‍යුතව, මනා නුවණැත්තේ, සිහියෙන් යුතුවූයේ මව්කුසෙහි උපන්නාහ.
සම්බුදු රජුන් උපදනා කල්හි දශසහශ්‍රී ලෝකධාතුව කම්පා විය. එම ලෝක නායකයන් වහන්සේ උපදනා කල්හි අන්‍ධයෝ ඇස් ලැබූහ.
මේ සම්පූර්‍ණ පෘථිවිය හැම අයුරකින්ම කම්පාවිය. (ඒ) මහ හඬට මහාජනයෝ කලබල වූහ.
සියළුදෙන එකතුව මාගේ සමීපයට පැමිණියාහුය. “මේ පොළොව කම්පා විය. කවර විපතක් වන්නේදැ” යි (විචාළේය.)
එකල්හි ඔවුන්හට (මම) මෙසේ කීයෙමි. “බිය නොවව්. තොපට (මින්) බියෙක් නැත. සියල්ලෝ විශ්වාස ඇත්තෝ වව්. මෙය සැප ඇති උපතෙකි. (එබඳු උපතක ලකුණකි.)
හේතු අටකින් ගැටුණු මේ පොළොව කම්පා කළේය. එබඳු නිමිතීහු පැණෙති. (මේ) අතිමහත් ආලෝකයකි.
පසැස් ඇති බුදුරජතෙම නිසැකවම (ලොව) උපදින්නේයැ” යි ජනසමූහයාට දන්වා මම ඔවුනට පන්සිල් කීමි.
පඤචසීලයද, දුර්ලභවූ බුද්ධොත්පාදයද (ගැන) අසා ඔවුහු සොම්නස්වූවාහු, තුටු පහටු වූවාහු, හටගත් කළකිරීම් ඇත්තෝද වූහ.