467. ලබුජදායක ථේරාපදානය
එකල්හි මම බන්ධුමතී නගරයෙහි ආරාමිකයෙක් (අරමක වතාවත් කරන්නෙක්) වීමි. (එවිට) අහසින් වඩින්නාවූ රජස් රහිත බුදුරජුන් දුටුවෙමි.
මම දෙල් ගෙඩියක් ගෙන, බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි. මහත් යසස් ඇති (බුදුරජතෙම) අහසෙහි සිටියේ එය පිළිගත් සේක.
මාගේ ප්‍රීතිය ඇති කරන්නාවූ, මෙලෙව්හිදීම සුව ගෙන දෙන්නාවූ, පැහැදි සිතින් (එම) ඵලය බුදුරජුන්හට දී,
එකල්හි (මම) මහත්වූ ප්‍රීතියද, උතුම්වූ සැපයද ලැබීමි. ඒ ඒ තන්හි උපන්නාවූ මට රුවන්ද උපදී.
මින් එක් අනූවනවන කපෙහිවූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ලබුජදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ලබුජදායක ථෙරුන්ගේ අපදානය හත්වැනියි.
468. පිලක්ඛඵලදායක ථේරාපදානය
වනයෙහිදී මහත් යසස් ඇති අත්‍ථදස්සී බුදුරජුන් දැක, පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, පුලිල ගෙඩියක් උන්වහන්සේට දුනිමි.
අටළොස් සියවන කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පිලක්ඛඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පිලක්ඛඵලදායක ථෙරුන්ගේ අපදානය අටවැනියි.