446. අම්බාටකිය ථේරාපදානය
4752. “වෙස්සභූ බුදුරජතෙම මැනවින් පිපීගිය සල් වනයකට පිවිස, ගිරිදුර්‍ගයන්හි විශිෂ්ඨ ජන්ම ඇති සිංහ රාජයෙකු මෙන් වැඩහුන් සේක.
4753. “පුණ්‍යක්‍ෂෙත්‍රවූ, මහාවීරවූ (උන්වහන්සේ දැක) පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, සියතින් (එම බුදුරජුන්හට) ඇඹරැල්ල ගෙඩියක් පිදීමි.
4754. “මින් එක්තිස්වන කපෙහිවූ එකල්හි යම් ඵල පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
4755. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
4756. “ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
4757. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බාටකිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අම්බාටකියත්ථෙරස්සාපදානං ඡට්ඨං.
447. සීහාසනික ථේරාපදානය
4758. “මම සව්සත්නට හිත කැමැත්තාවූ පදුමුත්තර බුදුරජුන්හට පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ සිහසුනක් දුනිමි.
4759. “මම දෙව්ලොව හෝ, මිනිස් ලොව හෝ, ඒ යම් තැනක වෙසෙම් නම් මහත්වූ විමානයක් ලැබීමි. සිහසුන් දනෙහි මේ විපාකයයි.
4760. “ස්වර්‍ණමයවූද, රජතමයවූද, පද්මරාග මාණික්‍යවූද, මිණිමය (මිණියෙන් කරන ලද)වූද බොහෝ පර්‍ය්‍යඞ්කයෝ මට හැම කල්හි පහළ වෙත්.
4761. “පදුමුත්තර බුදුරජුගේ බෝධියට අසුනක් කොට උසස් කුලයෙහි උපදිමි. ධර්‍මයාගේ යහපත් ස්වභාව ඇති බව ආශ්චර්‍ය්‍යයකි.
4762. “මම මින් සියක් දහස්වන කපෙහි සිහසුනක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සිහසුන් දනෙහි මේ විපාකයයි.
4763. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
4764. “ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
4765. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සීහාසනික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සීහාසනිකත්ථෙරස්සාපදානං සත්තමං.
448. පාදපීඨිය ථේරාපදානය
4766. “අග්‍රවූ, කාරුණීකවූ, මොනෙය්‍ය ගුණ ඇති, මහත් යසස් ඇති ඒ සුමේධ නම් සර්‍වඥතෙමේ බොහෝ සත්ත්‍වයන් (සසර සයුරින්) තරණය කරවා පිරිනිවන් පෑහ.
4767. “සුමේධ බුදුරජුන්ගේ සිහසුන හාත්පස (සමීපයෙහි) පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, (මම) පාපුටුවක් කෙළෙමි.
4768. “සැප විපාක ඇති, සුව ගෙන දෙන්නාවූ කුශල කර්‍මය කොට මම එම කුශල කර්‍මය හා යෙදුනේ තව්තිසා දෙව්ලොවට ගියෙමි.
4769. “පුණ්‍ය කර්‍මය හා යෙදුනාවූ එහි (දෙව්ලොව) වසන්නාවූ මාගේ පියවර ඔසවන කල්හි ස්වර්‍ණමය පාද පිඨයෝ පහළ වෙත්.
4770. “යමෙක් බුදුරජුන්ගේ සමීපයෙහි සිට දහම් ඇසීමට ලබතොත් ඔවුන්හට එය ලාභයකි. අතිශය උසස් ලාභයකි. පිරිනිවි කල්හිද (උන්වහන්සේ කෙරෙහි) පින්කම්කොට මහත්වූ සැප ලබත්.