443. බිල්ලඵලිය ථේරාපදානය
4731. “මා විසින් චන්‍ද්‍රභාග නදී තීරයෙහි බෙලිගස්වලින් ගැවසීගත් නොයෙක් වෘක්‍ෂයන්ගෙන් සෙවුනා ලද අසපුවක් මනාකොට කරන ලදී.
4732. “සුවඳවත් බෙලි (ගෙඩියක්) දැක බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි. සතුටුවූයේ, ඉපිලීගිය සිත් ඇත්තේ, කදක් පුරවාගෙන,
4733. “කකුසඳ බුදුරජුන් වෙත එළඹ මම පුණ්‍යක්‍ෂෙත්‍රවූ, වීරවූ උන්වහන්සේට පැහැදි සිතින් (එම) බෙලි ගෙඩිය දුනිමි.
4734. “මෙම කල්පයෙහි වූ එකල්හි යම් ඵලයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
4735. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
4736. “ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
4737. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බිල්ලඵලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
බිල්ලියත්ථෙරස්සාපදානං තතියං.
444. භල්ලාතකදායක ථේරාපදානය
4738. “උතුම් දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ ඇති, ස්වර්‍ණ වර්‍ණවූ, වනය ඉහළින් ගමන් කරන්නාවූ, පිපුණු සල් රුකක් වැනිවූ (බුදුරජුන් දුටිමි.)
4739. “මම තණ ඇතිරියක් පණවා බුද්ධශ්‍රේෂඨයන් වහන්සේට ආයාචනය කෙළෙමි. (කෙසේද යත්?) බුදුරජතෙම අනුකම්පා කෙරෙත්වා, භික්‍ෂාව දෙන්නට කැමැත්තෙමියි කියායි.
4740. “ලොවට අනුකම්පා කරන්නාවූ කාරුණීකවූ, මහත් යසස් ඇති අත්‍ථදස්සී බුදුරජතෙම මාගේ අදහස දැන මාගේ අසපුවෙහි බැස්සාහ.
4741. “බුදුරජතෙම අහසින් බැස පන් ඇතිරිලියෙහි වැඩහුන් සේක. මම බදුළු ඵල ගෙන ගොස් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
4742. “එකල්හි සර්‍වඥතෙම මා බලා සිටියදී එය වැළදූ සේක. එහි සිත පහදවා එකල්හි(ම) බුදුරජුන් වැන්දෙමි.
4743. “අටළොස්සියවන කපෙහිවූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
4744. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
4745. “ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
4746. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
භල්ලාතදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භල්ලාතකදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
445. උත්තලි පුප්ඵිය ථේරාපදානය
4747. “මැනවින් බැසගත් මුල් (හා) ඇටුවම් ඇති, කොළවන් රැස් ඇති, නාග වෘක්‍ෂ (නුගරුක්) බෝධියෙහි උත්තලි මල් ගෙන පිදීමි.
4748. “මෙම කල්පයෙහිම යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බෝධි පූජාවෙහි මේ විපාකයයි.