439. පිණ්ඩිය ථේරාපදානය
4701. එකල්හි (මම) රාජවාහන යෝග්‍යවූ, උඩට දික්ව වැඩුනු දළ ඇති ඇත් රජෙක් වීමි. ඇවිදින්නේ ලෝකනායකවූ බුදුරජුන් දිටිමි.
4702. මම අඹ පිඩක් ගෙන ශාස්තෘන් වහන්සේට දුනිමි. මහාවීරවූ සිද්‍ධාර්ත්‍ථ බුදුරජතෙම (එය) පිළිගත්සේක.
4703. එකල්හි සර්‍වඥ තෙම මා බලා සිටියදී එය වැළදූහ. මම එහි සිත පහදවා තුෂිත දිව්‍ය ලෝකයෙහි උපනිමි.
4704. මම ඉන් චුතව සක්විති රජ වීමි. මේ ක්‍රමයෙන්ම සම්පත් අනුභවකොට,
4705. වීර්‍ය්‍ය වඩන ලද මම උපශාන්තවූයේ, උපධි රහිත වූයේ, සියළු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන, ආශ්‍රව රහිතව වෙසෙමි.
4706. මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
4707. මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
4708. ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
4709. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පිණ්ඩිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අම්බපිණ්ඩියත්ථෙරස්සාපදානං නවමං.
440. ජම්බුඵලිය ථේරාපදානය
4710. ලෝක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති, පිඬු පිණිස හැසිරෙන්නාවූ, උතුම් යසස් ධරවූ පදුමුත්තර බුදුරජුන්හට
4711. මම අග්‍රවූ (පළමුවෙන්ම හැදුනු) ජම්බු (දඹ) ඵලයක් ගෙන පැහැදි සිතින්, දක්‍ෂිණාර්හවූ, වීරවූ, ශාස්තෲන් වහන්සේට දුනිමි.
4712. විපදෝත්තමයන් වහන්ස, ලෝක ජ්‍යෙෂ්ඨයන් වහන්ස, (මම) එම කර්‍මය කරණකොටගෙන ජය පරාජය හැර, අචල ස්ථානයවූ නිවනට පැමිණියේ වෙමි.
4713. මින් සියක් දහස්වන කපෙහි වු එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. අග්‍ර ඵල දානයාගේ මේ විපාකයයි.
4714. මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
4715. ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
4716. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ජම්බුඵලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අම්බඵලියත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
එකවිහාරිය, සඞ්ඛිය, පාටිහීරක, ඤාණත්ථවික, උච්ඡුඛණ්ඩික, කලම්බදායක, අම්බාටකදායක, හරීතකදායක, අම්බපිණ්ඩිය සහ දසවන ජම්බුඵලිය (යන තෙරවරු වෙති). නුවණැත්තන් විසින් ගණන් බලන ලද්දා වූ අසූසයක් ගාථාවෝ වෙත්.
එකවිහාරිවග්ගො චතුචත්තාලීසමො.