431. එක වීහාරීය ථේරාපදානය
4630. මේ මහා භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ කුලයෙහි ජාතවූ, මහත් යසස් ඇති, කථා කරනවුන් අතරෙහි ශ්‍රේෂ්ඨවූ, ගෝත්‍රයෙන් කාශ්‍යප නම්වූ (බුදුරජ තෙම) ලොව පහළවූහ.
4631. (මම සර්වඥතෙම) ප්‍රපඤ්ච (කෙළෙස්) විරහිතය. අරමුණු නිත්‍ය, ශුභ ආදී වශයෙන් නොගන්නෙක. (මෛත්‍රීයෙන්) ආකාශය හා සම සිත් ඇතියෙක. ශුන්යතාලක්ෂණවූ නිවණ අරමුණු කිරීම බහුලකොට ඇත්තෙක. තාදී ගුණ ඇතියෙක. අනිමිත්ත ලක්ෂණවූ නිවණෙහි ඇළුනෙක. චිත්ත වශිතාවෙන් යුතු කෙනෙක.
4632. (අරමුණුවල) නොඇලෙන සිත් ඇත්තෙක. කෙළෙස් නැත්තෙක. කුලයා කෙරෙහිද, ගණයා කෙරෙහිද නොගැටුනු කෙනෙක. මහා කරුණාවෙන් යුතු කෙනෙක. වීර ගුණ ඇති කෙනෙක. හික්මවීමෙහිවූ උපායෙහි දක්ෂයෙක.
4633. අනුන්ගේ කටයුතුවල යෙදුනෙක. දෙවියන් සහිත ලෝකයා හික්මවමින්, නිර්වාණගාමී මාර්ගයවූ, දුර්ගති නමැති මඩ වියලන්නාවූ (පිළිවෙත පුරන).
4634. උතුම් අස්වැසිල්ලවූ, අමෘතවූ, ජරා මරණ වලක්වන්නාවූ (ධර්මය දෙසන), ඒ මහා පිරිස් මැද වැඩහුන්නාවූ, ලෝකයා සසර සයුරින් එතර කරන්නාවූ (බුදුරජුන් දුටිමි).
4635. කුරවි කොවුලනට බඳු හඬ ඇති කෙනෙක. ලෝකයෙහි අනාථයනට නාථවූවෙක. බඹගොස ඇතියෙක. තථාගතවූ (බුදුරජතෙම), (සසර කතරෙහි) මංමුළාවූ නායකයෙකු නැති (දුඃඛිතයන්) සංසාර මහා දුර්ගයෙන් ගොඩලමින්,
4636. නිර්මල ධර්මය දේශනා කරන්නාවූ, ලෝකනායක තෙම මා විසින් දක්නා ලදී. උන්වහන්සේගේ ධර්මය අසා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
4637. එකල්හි මම පැවිදිව බුදුසසුන ගැන සිතමින් (පැවිද්ද පළමු තුබූ) සංසර්ගය (සිහිව ඉන්) පෙළෙමින් රම්‍යවූ වනයෙහි හුදකළාවම විසීමි.
4638. (කුලයා කෙරෙන්ද, ගණයා කෙරෙන්ද) වෙන්වූ සිත් ඇති, සංසර්ගයෙහි භය දක්නාවූ මාගේ ස්වකීය කයද (ජනයා කෙරෙන්) වෙන්විය. නිර්වාණ හේතුවූ මාර්ගයද මට ඇතිවිය.
4639. මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
4640. ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
4641. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එක වීහාරීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
එකවිහාරියත්ථෙරස්ස අපදානං පඨමං.
432. එක සංඛිය ථේරාපදානය
4642. විපස්සී බුදුරජුන්ගේ මහා බෝධි පූජාවක් විය. මහජනයා රැස්ව උතුම් බෝධියට පූජා කෙරෙත්.
4643. යම් ශාස්තෘවරයෙකුගේ බෝධියද මෙබඳු පූජනීය වස්තුවක් නම්, ඒ උතුමා ලාමක කෙනෙකැයි නොහඟිමි. බුද්ධ ශ්‍රේෂ්ඨයෙක් වන්නේය.
4644. ඉක්බිති සකක් ගෙන බෝරුක ගෙන එළඹියෙමි. මුළු දවසෙහිම එය පිඹිමින් උතුම් බෝධිය වැන්දෙමි.
4645. කරන ලද (එම) පුණ්‍ය කර්මය මරණාසන්න කල්හි (මා) දෙව්ලොවට පැමිණවීය. මාගේ සිරුර (අප්‍රාණිකව) වැටිනි. මම දෙව්ලොව සිත් අලවා වසමි.
4646. තුටුපහටුවූ, ප්‍රමුදිතවූ සැටදහසක් තූර්ය්ය (වාදක)යෝ හැමකල්හි මට උවටැන් කෙරෙත්. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
4647. එක් සැත්තෑවන කපෙහි සිව් මහ දිවයින් හා සිව් සයුරු කෙළවරකොට ඇති පෘථිවියට අධිපතිවූ, සතුරු රජුන් ජයගන්නා සුළුවූ, (විශේෂයෙන්) ජම්බුවීපයට අධිපතිවූ සුදස්සන නම් (සක්විති) රජෙක් වීමි.
4648. යලි (එහි) සප්තාංගීක තූර්‍ය්‍යයෝ හැම කල්හි මා පිරිවරත්. ස්වකීය කර්මය අනුභව කරමි. (බෝධි) උපස්ථානයාගේ මේ විපාකයයි.
4649. දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ යම් යම් යෝනියක උපදිම් නම්, මව් කුස පිළිබඳ ගත්තාවූද (මට) හැමකල්හි භෙරීහු වාදනය කෙරෙත්.
4650. සම්බුදුරජුන් වෙත එළඹ සම්පත් අනුභවකොට, අතිශයින් ක්ෂෙමවූ, ශිවවූ, අමෘතවූ අචල පදය වන නිවනට පැමිණියේ වෙමි.
4651. මින් එක් අනූවන කපෙහිවූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
4652. මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.