430. සොණ්ණකොන්තරිකත්ථෙරාපදානං
157. “සිත්හි භාවනාවක් ලෙස වැඩිය යුතුවූ, ආත්මය (සිත) දමනය කළාවූ, සන්හුන්වූ, ශ්රේෂ්ඨ ප්රතිපදා මාර්ගයෙහි ගමන් කරන්නාවූ, චිත්ත ව්යපසමයෙහි ඇලුනාවූ, සියල්ල අවබෝධ කළාවු,
158. “තරණය කරණ ලද චතුරෝඝ ඇති, ධ්යාන කරන්නාවූ, ධ්යානයෙහි ඇලුනාවූ, මොනෙය්ය ගුණයන්ගෙන් යුතුවූ, වැඩහුන්නාවූ සමාධියට සමවැදුනාවූ, උපුල් පෙති පැහැ ඇති සම්බුදුරජුන් (දුටිමි.)
159. “(දැක) ලබු කැටයකින් දිය ගෙන බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹියෙමි. බුදුරජුන්ගේ සිරපා දොවා මම ලබුකැටය දුනිමි.
160. “පදුමුත්තර බුදුරජතෙමේ මෙම ලබු කබලින් දිය ඉවත්කොට මාගේ පාමුල තබවයි අණකළ සේක.
161. “මම බුද්ධ ගෞරවයෙන් යහපතැයි පිළිවදන් දී, ලබු කබලින් දිය ඉවත්කොට බුද්ධ ශ්රේෂ්ඨයන් වෙත එළඹීමි.
162. “මහාවීරවූ බුදුරජතෙමේ මට “ලබු කබල් දනින් තාගේ අදහස් සමෘද්ධවේවා” යි මාගේ සිත නිවමින් අනුමෝදනා කළ සේක.
163. “මම පසළොස් කපෙක්හි දෙව්ලොව සිත් අලවා විසීමි. (මම) තිස්වරක් සක්විති රජ වීමි.
164. “දවල්හි හෝ, රැයෙහි හෝ, සක්මන් කරන්නාවූද, සිටින්නාවූද, මාගේ ඉදිරියෙහි රන් කෙණ්ඩියක් ගෙන (කිසිවෙක්) සිටිත්.
165. “බුදුරජුන්හට ලබුකබලක් පුදා රන් කෙණ්ඩියක් ලබමි. තාදී ගුණ ඇති උතුමන් කෙරෙහි ස්වල්ප වශයෙන් කරන ලද පිණද මහත් බල වේ.
166. “මින් සියක් දහස්වන කපෙහි වු එකල්හි යම් ලබුකබල් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ලබුකබල් දනෙහි මේ විපාකයයි.
167. “මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
168. “ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්රිවිද්යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
169. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සොණ්ණකොන්තරික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සොණ්ණකොන්තරිකත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
සකිංසම්මජ්ජක තෙරණුවෝද, එකදුස්සීය, එකාසනීය, කදම්බපුප්ඵිය, කෝරණ්ඩකපුප්ඵිය, ඝතමණ්ඩදායක, එකධම්මසවණීය, සුචින්තිත, කිංකණික සහ සොණ්ණකොන්තරික යන තෙරවරු වෙති. ගාථා එකසිය හැත්තෑ එකක් ද වෙත්.
සකිංසම්මජ්ජකවග්ගො තෙචත්තාලීසමො.
44. එක වීහාරීය වග්ග
431. එක වීහාරීය ථේරාපදානය
4630. මේ මහා භද්ර කල්පයෙහි බ්රාහ්මණ කුලයෙහි ජාතවූ, මහත් යසස් ඇති, කථා කරනවුන් අතරෙහි ශ්රේෂ්ඨවූ, ගෝත්රයෙන් කාශ්යප නම්වූ (බුදුරජ තෙම) ලොව පහළවූහ.
4631. (මම සර්වඥතෙම) ප්රපඤ්ච (කෙළෙස්) විරහිතය. අරමුණු නිත්ය, ශුභ ආදී වශයෙන් නොගන්නෙක. (මෛත්රීයෙන්) ආකාශය හා සම සිත් ඇතියෙක. ශුන්යතාලක්ෂණවූ නිවණ අරමුණු කිරීම බහුලකොට ඇත්තෙක. තාදී ගුණ ඇතියෙක. අනිමිත්ත ලක්ෂණවූ නිවණෙහි ඇළුනෙක. චිත්ත වශිතාවෙන් යුතු කෙනෙක.
4632. (අරමුණුවල) නොඇලෙන සිත් ඇත්තෙක. කෙළෙස් නැත්තෙක. කුලයා කෙරෙහිද, ගණයා කෙරෙහිද නොගැටුනු කෙනෙක. මහා කරුණාවෙන් යුතු කෙනෙක. වීර ගුණ ඇති කෙනෙක. හික්මවීමෙහිවූ උපායෙහි දක්ෂයෙක.
4633. අනුන්ගේ කටයුතුවල යෙදුනෙක. දෙවියන් සහිත ලෝකයා හික්මවමින්, නිර්වාණගාමී මාර්ගයවූ, දුර්ගති නමැති මඩ වියලන්නාවූ (පිළිවෙත පුරන).
4634. උතුම් අස්වැසිල්ලවූ, අමෘතවූ, ජරා මරණ වලක්වන්නාවූ (ධර්මය දෙසන), ඒ මහා පිරිස් මැද වැඩහුන්නාවූ, ලෝකයා සසර සයුරින් එතර කරන්නාවූ (බුදුරජුන් දුටිමි).
4635. කුරවි කොවුලනට බඳු හඬ ඇති කෙනෙක. ලෝකයෙහි අනාථයනට නාථවූවෙක. බඹගොස ඇතියෙක. තථාගතවූ (බුදුරජතෙම), (සසර කතරෙහි) මංමුළාවූ නායකයෙකු නැති (දුඃඛිතයන්) සංසාර මහා දුර්ගයෙන් ගොඩලමින්,
4636. නිර්මල ධර්මය දේශනා කරන්නාවූ, ලෝකනායක තෙම මා විසින් දක්නා ලදී. උන්වහන්සේගේ ධර්මය අසා අනගාර්ය්ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
4637. එකල්හි මම පැවිදිව බුදුසසුන ගැන සිතමින් (පැවිද්ද පළමු තුබූ) සංසර්ගය (සිහිව ඉන්) පෙළෙමින් රම්යවූ වනයෙහි හුදකළාවම විසීමි.
4638. (කුලයා කෙරෙන්ද, ගණයා කෙරෙන්ද) වෙන්වූ සිත් ඇති, සංසර්ගයෙහි භය දක්නාවූ මාගේ ස්වකීය කයද (ජනයා කෙරෙන්) වෙන්විය. නිර්වාණ හේතුවූ මාර්ගයද මට ඇතිවිය.
4639. මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.