405. උපසීව ථේරාපදානය
“හිමවතට නුදුරෙහි අනොම නම් පර්වතයක් විය. මට එහි මැනවින් කරණ ලද අසපුවක් විය. මනාකොට කටයුතු කොට නිමවූ පන්සැලක්ද විය.”
“එහි මනාවූ කුඩා තොටුපලවල් ඇති මනොඥවූ නදියක් ගලා බසී. එම කුඩා තොටුපලවලට නුදුරෙහි බොහෝ පද්මොත්පලයෝ හටගනිත්.”
“පාඨින නම් මත්ස්‍යයෝ (පෙටියෝ) ද, පාවුස නම් මත්ස්‍යයෝ (ලූල්ලු) ද, වලජ නම් මත්ස්‍යයෝ (වලයෝ) ද, මුඤ්ජ නම් මත්ස්‍යයෝ (මොද්දු) ද, රොහිත නම් මත්ස්‍යයෝ (රෙහෙරු) යන මස් කැසුබුවන්ගෙන් ගැවසීගත්තාවූ නදිය හැම කල්හි ගලා බසී.”
“එහි තිමිරය, අසොකය, ඛුද්දවාලක (කුඩා මල් ඇති ගස්) ය, පුන්නාග (දොඹ) ය, ගිරිපුන්නාගය (කඳුවල සෑදෙන දොඹ)ය, යන මේ වෘක්ෂයෝ පිපී ගියාහු, මාගේ අසපුවෙහි සුවඳ පතුරුවත්.”
“එහි පිපී ගියාවූ කෙලිඳ වෘක්ෂයෝද, බෝලිද්ද වනයෝද, සාල වෘක්ෂයෝද, පිපී ගියාවූ සලල වෘක්ෂයෝද, චම්පක (සපු) වෘක්ෂයෝද එහි බොහෝ වෙති.”
“පිපීගියාවූ කුඹුක්ද, යොහොඹුද, උක්ගස්ද, (එසේම) පිපීගියාවූ පියාගස්ද, මධුගන්ධි වෘක්ෂයෝද යන මොවුහු මාගේ අසපුවෙහි බොහෝ වෙති.”
“මාගේ අසපුව හාත්පස අඩ යොදුනක් තන්හි ඇසළය, පලොල්ය, සීනිද්දය, පුවඟුය, රත්කරව්ය යන මෙකී වෘක්ෂයන්ගෙන් ගැවසීගත්තාහුය.”
“පිපුණාවූ මෘතඞ්ග නම් වෘක්ෂයෝද, සත් පෙති දෑසමන්ද, පළොල්ද, නිකද, රුකඟුනද, තාලකූට නම් වෘක්ෂයෝද එහි බොහෝ වූහ.”
“මාගේ ඒ අසපුවෙහි පිපුනාවූ හල්මල්ද බොහෝය. මේවා පිපෙන කල්හි වෘක්ෂයෝ බොහෝ ශෝභන වෙත්. එම සුවඳින් මාගේ අසපුව හාත්පස සුවඳ හමයි.”
“අරළුය, නෙල්ලිය, අඹය, ජම්බුය, බුළුය, ඩෙබරය, බදුලුය, බෙලිය, බොරළුදැමුණුය යන මේ වෘක්ෂයන්ගේ ඵලද,”
“තිඹිරිය, පියල්ය, වැල්මීය, කාසුමාරිය, දෙල්ය, කොස්ය, කෙසෙල්ය, ඩෙබරය යන මොවුන්ගේ ඵලයෝද එහි බොහෝ වෙති.”
“ඇඹරැල්ලාය, මල්ලිකාරය යන මොවුන්ගේ ඵලයෝද එහි බොහෝ වෙති. ලප්නාරන්ය, ඝපාරිය යන මේ වෘක්ෂයෝද මාගේ අසපුවෙහි හටගත් ඵල ඇත්තාහු වෙත්.”
“ආලකය, ඉසිමුග්ග (වන මුං)ය, යලි මොදඵලය යන මොවුහු එහි බොහෝ වෙති. පුල්ලිය, දිඹුල්ය යන මේ වෘක්ෂයෝ හාත්පස පැසුණු ගෙඩිවලින් බරවූවාහුය.”
“පුලිලය, මිරිස්ය, නුගය, දිවුල්ය, දිඹුල් (අට්ටික්කා) කණ්ටපක්කය, පාරියය යන මෙකී වෘක්ෂයෝ එහි බොහෝ වෙති.”
“මෙම වෘක්ෂයෝද, මෙයින් පිටත් තවත් බොහෝ වෘක්ෂයෝද, මාගේ අසපුවෙහි ඵල හටගත්තාහු වෙති. මාගේ අසපුවෙහි බොහෝ මල් හටගන්නාවූ වෘක්ෂයෝද පිරී ගියාහු වෙත්.”
“ආළුවය, කලම්බය, බිලාලීය, තක්කලය, ආලකය, තාලකය යන අල වර්ගයෝද මාගේ අසපුවෙහි විද්‍යමාන වෙත්.”
“මාගේ අසපුවට නුදුරෙහි පැහැදි දිය ඇති, සිසිල් දිය ඇති, මනාවූ (කුඩා) තොටුපලවල් ඇති මනොඥවූ ජාතස්සරයක් හෙවත් ස්වයංජාත (තෙමේම හටගත්) විලක් විය.”
“සුදු නෙළුම් සහිත, රතු නෙළුම් සහිත හා උපුල් එහි බොහෝය. මදාරා ගස්වලික් වැසී ගිය (එම තඩාගය) නොයෙක් සුවඳ වහනය කරයි.”