387. කදලිඵල දායක ථේරාපදානය
3314. “කිණිහිරි රුකක් මෙන්ද, පසළොස්වක් පොහෝදා සඳු මෙන්ද බබළන, ඇවිලගත් ප්‍රදීප වෘක්‍ෂයක් වැනිවූ බුදුරජුන් දුටිමි.
3315. “මම කෙසෙල් ගෙඩියක් ගෙන, පහමන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, බුදුරජුන්හට පිදීමි. (ඉ්කබිති) වැඳ ඉවත්ව ගියෙමි.
3316. “මින් එක් තිස්වන කපෙහි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
3317. “බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්‍රිවිද්‍යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
3318. “මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
3319. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කදලිඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කදලිඵලදායකත්ථෙරස්ස අපදානං සත්තමං.
388. පනසඵලදායක ථේරාපදානය
3320. “එකල්හි අර්ජුණ නම් සම්බුද්‍ධ තෙමේ හිමවතෙහි විසූහ. එම සර්‍වඥ තෙමේ පසළොස්චරණ ධර්‍මයන්ගෙන් යුක්තවූයේ සමාධියෙහි දක්‍ෂවූයේද වේ.
3321. “කළගෙඩි පමණවූ පනස (කොස්) හා ජීවජීවක නම් ඵලද ගෙනවුත් පර්ණච්ඡත්‍රයෙහි කුඩය වෙනුවට ඉස ලන කොළයෙහි තබා මම ශාස්තෘන් වහන්සේට දුනිමි.
3322. “මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
3323. “බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්‍රිවිද්‍යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
3324. “මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
3325. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පනසඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පනසඵලදායකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
389. සොණකොටිවීස ථේරාපදානය
3326. “විපස්සී බුදුරජුන්ගේ සසුන පවත්නා කල්හි සිව් දිගින් වඩින සංඝයාට බන්ධුම රාජධානියෙහි මා විසින් ලෙණක් කරවන ලදී.
3327. “(එම) ලෙණෙහි බිම් වස්ත්‍රවලින් අතුරා (සංඝයාට) පිදීමි. එකල්හි ඔදවැඩි සිත් ඇත්තේ, සොම්නස්වූයේ, මෙබඳු ප්‍රාර්ථනාවක්ද කෙළෙමි.