368. එක චම්පක පුප්ඵිය ථේරාපදානය
“උපසන්ත නම් සම්බුදුරජතෙමේ කඳු අතරෙහි වෙසෙන සේක. (මම) එක් සපු මලක් ගෙන නරොත්තමවූ එම බුදුරජුන් වෙත එළඹියෙමි.
“පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, පස්මරුන් දිනූ පසේබුදුරජුන්හට (එම මල්) දොහොතින් ගෙන පිදීමි.
මින් තිස් එක්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එක චම්පක පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
එකචම්පකපුප්ඵියත්ථෙරස්සාපදානං අට්ඨමං.
369. තිමිර පුප්ඵිය ථේරාපදානය.
“චන්ද්‍රභාගා නදී තීරයෙහි ගඟ පහලට මම යෙමි. (එකල්හි) පිපුනු සල් රුකක් වැනිව බබළන්නාවූ බුදුරජුන් මම දුටිමි.
“පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, මම තිමිර මල් ගෙන, එම මල් පසේ බුදුරජුන්ගේ මස්තකයෙහි (උඩට දමා) පිදීමි.
මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිමිර පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තිමිරපුප්ඵියත්ථෙරස්සාපදානං නවමං.
370. සලලපුප්ඵිය ථේරාපදානය.
“එකල්හි මම චන්‍ද්‍රභාග නදී තීරයෙහි කිඳුරෙක් වීමි. එහිදී සක්මණෙහි යෙදෙන, දෙවියනට දෙවිවූ බුදුරජුන් දිටිමි.
“මම සළල මල් නෙලා, එම බුදුරජුන්හට දුනිමි. බුදුරජතෙමේ දිව්‍යමය සුවඳ ඇති එම සළල මල් ආඝ්‍රාණය කළ සේක.
ලෝකනායකවූ විපස්සී බුදුරජාණන් වහන්සේ එය පිළිගෙන, මා බලා සිටියදීම ඒ මහා වීරයන් වහන්සේ එය ආඝ්‍රාණය කළ සේක.
“(ඉක්බිති) පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, බුදුරජුන් වැඳ, නැවතද ඇඳිලි බැඳ, පර්‍වතයට නැංගෙමි.
“මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියත් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සලල පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සළලපුප්ඵියත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
මන්දාරව ද, කක්කාරු ද, භිස ද, කෙසරපුප්ඵිය ද, අඞ්කොලක ද, කදම්බ ද, උද්දාල ද, එකචම්පක ද, තිමිර සහ සලල පුප්ඵිය ද යන මෙහි ගාථා සතළිසක් වේ.
මන්දාරවපුප්ඵියවග්ගො සත්තතිංසතිමො.