370. සලලපුප්ඵිය ථේරාපදානය.
“එකල්හි මම චන්‍ද්‍රභාග නදී තීරයෙහි කිඳුරෙක් වීමි. එහිදී සක්මණෙහි යෙදෙන, දෙවියනට දෙවිවූ බුදුරජුන් දිටිමි.
“මම සළල මල් නෙලා, එම බුදුරජුන්හට දුනිමි. බුදුරජතෙමේ දිව්‍යමය සුවඳ ඇති එම සළල මල් ආඝ්‍රාණය කළ සේක.
ලෝකනායකවූ විපස්සී බුදුරජාණන් වහන්සේ එය පිළිගෙන, මා බලා සිටියදීම ඒ මහා වීරයන් වහන්සේ එය ආඝ්‍රාණය කළ සේක.
“(ඉක්බිති) පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, බුදුරජුන් වැඳ, නැවතද ඇඳිලි බැඳ, පර්‍වතයට නැංගෙමි.
“මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියත් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සලල පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සළලපුප්ඵියත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
මන්දාරව ද, කක්කාරු ද, භිස ද, කෙසරපුප්ඵිය ද, අඞ්කොලක ද, කදම්බ ද, උද්දාල ද, එකචම්පක ද, තිමිර සහ සලල පුප්ඵිය ද යන මෙහි ගාථා සතළිසක් වේ.
මන්දාරවපුප්ඵියවග්ගො සත්තතිංසතිමො.
38. බොධිවන්‍දක වග්ග
371. බොධිවන්දක ථේරාපදානය
“මම පළාවන්වූ පලොල් ගසක් දැක, එකස්කොට ඇඳිලි බැඳ, එම පළොල් බෝධියට වැන්දෙමි.
“ඇඳිලි බැඳගෙන, සිතින්ද ගරුකොට, ඇතුළත පිරිසිදුවූ, පිටතද පිරිසිදුවූ, මැනවින් (සියළු කෙළෙසුන්ගෙන්) මිදුනාවූ, ආශ්‍රව රහිතවූ,
“ලෝවැස්සන් විසින් පුදන ලද, කරුණාවට හා ඥානයට සාගරයක් වැනිවූ, විපස්සී බුදුරජුන් හමුයෙහි මෙන් එම පළොල් ගසට වැන්දෙමි.
“මින් එක් අනූවන කපෙහි යම් බෝධියකට වැන්දෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වන්‍දනාවෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බොධිවන්දක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
බොධිවන්දකත්ථෙරස්සාපදානං පඨමං.
372. පාටලිපුප්ඵිය ථේරාපදානය
“සියල්ල තෙමේම අවබෝධ කළවූ, අග්‍ර පුද්ගලවූ, පස්මරුන් ජයගත්, විපස්සී නම් භාග්‍යවතුන් වහන්සේ, ස්වකීය ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයේ, බන්‍ධුම නගරයට පිවිසි සේක.
“මා විසින් පළොල් මල් තුනක් ඔඩොක්කුවෙහි තබන ලද්දේ. (ඒ) මම හිස පටන් නගනු කැමැත්තේ ගංතෙරට ගියෙමි.
“බන්‍ධුමතී නගරයෙන් නික්ම වඩින්නාවූ, මහනිල් මලක් මෙන් බබලන, ඇවිලගත් ගින්නක් වැනිවූ ලෝකනායකවූ බුදුරජුන් දුටිමි.
“ශ්‍රේෂ්ඨ ව්‍යාඝ්‍රයෙකු මෙන්වූ, උතුම්වූ, විශිෂ්ඨ ජන්ම ඇති, සිංහයෙකු වැනිවූ, ශ්‍රමණයනට අග්‍රවූ, භික්‍ෂු සංඝයා විසින් පිරිවරන ලද (බුදුරජුන් දුටිමි).
“කෙළස් මල දෝනාවූ, ඒ බුදුරජුන් කෙරෙහි පැහැදුනේ, (එම පළොල්) මල් තුන ගෙන බුද්ධ හ්‍රෙෂ්ඨයන් වහන්සේ පිදීමි.
“මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාටලීපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පාටලිපුප්ඵියත්ථෙරස්සාපදානං දුතියං.