356. අම්බයාගු ථේරාපදානය
සියල්ල තෙමේම අවබෝධ කරගත්, පස්මරුන් දිනූ සතරංසී නම් සර්‍වඥ තෙමේ සමාධියෙන් නැගිට මා වෙත පිඬු පිණිස එළඹි සේක.
එම පසේ බුදුන් දැක මම පිරිසිදු සිතින් යුත් උන්වහන්සේට පැහැදි සිතින්ම අඹ කැඳක් දුනිමි.
මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. අඹ කැඳ පිදීමෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බයාගු තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අම්බයාගුදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
357. සුපුටක පූජක ථේරාපදානය
දිවා විහරණයෙන් නික්මුණු ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ පිඬු පිණිස හැසිරෙන්නේ මාගේ සමීපයට එළඹි සේක.
ඉක්බිති (එයින්) සතුටුවූ, සොම්නස්වූ මම, තාදී ගුණ ඇති බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට ලුණුගොටුවක් දී කල්පයක් ස්වර්‍ගයෙහි සතුටුවීමි.
මින් එක්අනූවන කපෙහි මම (යම්) ලුණු ගොටු දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (ලුණු) ගොටු දනෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුපුටක පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සුපුටකපූජකත්ථෙරස්සාපදානං සත්තමං.
358. මඤ්චදායක ථේරාපදානය
ලොවට දෙටුවූ, තාදී ගුණ ඇති විපස්සී බුදුරජුන්හට පහන් සිතින් සියතින්ම මා විසින් ඇඳක් දෙන ලදී.
එයින් හස්ති යානයන්ද, අශ්වයන්ද, දිව්‍යමය යානයන්ද ලැබීමි. එම මඤ්චදානයෙන්ම (ඇඳ දන් දීමෙන්) ආශ්‍රවක්‍ෂය (රහත් බවටද) පැමිණියේ වෙමි.
මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් මඤ්චක දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මඤ්චක දානයාගේ මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මඤ්චදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මඤ්චදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.
359. සරණගමණීය ථේරාපදානය
එකල්හි ආජීවකයෙක්වූ මමද, භික්‍ෂුවක්ද, නැවකට නැගුණෙමු. නැව බිඳෙන කල්හි ආජීවකයෙක්වූ මට භික්‍ෂුව සරණ දුන්නේය.
මින් එක් තිස්වන කපෙහි වූ එකල්හි ඒ භික්‍ෂු තෙමේ මට යම් සරණයක් දුන්නේද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ සරණාගමණයෙහි විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සරණගමණීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සරණගමනියත්ථෙරස්සාපදානං නවමං.
360. පිණ්ඩපාතික ථේරාපදානය
තිස්ස නම් සම්බුදුවරයෙක් විය. එකල්හි උන්වහන්සේ වනයෙහි විසූ සේක. මම තුසිතයෙන් මෙහි පැමිණ උන්වහන්සේට පිණ්ඩපාත දානයක් දුනිමි.
මහත්වූ ගුණ ඝෝෂාවක් ඇති, තිස්ස නම් බුදුරජුන්හට සිය සිත පහදවා වැඳ, මම (ආපසු) තුෂිත දෙව්ලොවට ගියෙමි.
මින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් පිණ්ඩපාත දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පිණ්ඩපාත දානයාගේ මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පිණ්ඩපාතික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පිණ්ඩපාතිකත්ථෙරස්සාපදානං දසමං.