345. නළාගාරික ථේරාපදානය
“හිමවතට නුදුරෙහි භාරිත නම් පර්‍වතයක් විය. නාරද නම් බුදුරජතෙම රුක් මුලක විසූහ.
“මම බට කුටියක් කොට එහි තණ සෙවිළි කළෙමි. එහි සක්මණක්ද පිරිසිදුකොට තථාගතයන් වහන්සේට දුනිමි.
“මම තුදුස්වන කපෙහි දෙව්ලොව සිත් අලවා විසීමි. සූසැත්තෑ වරක් දිව්‍ය රාජ්‍යය කරවීමි.
“මම සත් සැත්තෑ වරක් සක්විති රජ වීමි. කරවණ ලද මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් මෙතෙකැයි ගිණිය නොහැකියි.
“පැන නැංගාවූ මාගේ භවනය උඩට නැගුනු දේදුන්නක් මෙනි. දහසක් කණු ඇති අනූපමවූ එම විමානය පැහැ විහිදුවන්නේය.
“කුශල මූලයන් මෙහෙයන ලදුයේ විවිධ සම්පත් අනුභවකොට මම ගෞතම බුදුන්ගේ සසුනෙහි පැවිදිවීමි.
“වීර්‍ය්‍යයෙහි මෙහෙයන ලද සිත් ඇත්තේ වෙමි. එසේම උපශාන්තය. උපධි රහිතය. බැඳුම් සිඳි ඇත් රජකු මෙන් ආශ්‍රව රහිතව වෙසෙමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නළාගාරික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
නළාගාරිකත්ථෙරස්සාපදානං පඤ්චමං.
346. චම්පකපුප්ඵිය ථේරාපදානය
“හිමවතට නුදුරෙහි “චාපල” නම් පර්‍වතයක් විය. සුදස්සන නම් බුදුරජතෙම එහි කඳු අතරෙහි විසූහ.
“හිමවත් මල් ගෙන අහසින් යන්නාවූ මම සත්‍යයන් තරණය කළ ආශ්‍රව රහිත කෙළෙස් රජස් විරහිත බුදුරජුන්හට පිදීමි.
“එකල්හි මම සපු මල් සතක් හිසෙහි තබා සියල්ල තෙමේම අවබෝධ කළාවූ බුදුරජුන්හට පිදීමි.
“මින් තිස් එක්වන කපෙහිවූ එකල්හි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චම්පක පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
චම්පකපුප්ඵියත්ථෙරස්සාපදානං ඡට්ඨං.
347. පදුමපූජක ථේරාපදානය
“හිමවතට නුදුරෙහි රොමස නම් පර්‍වතයක් විය. එකල්හි සම්භව නම් බුදුරජ තෙම එලිමහනෙහි විසූහ.
“මම භවනයෙන් නික්ම අවුත් උන්වහන්සේට පියුමක් දැරීමි. එක් දිනක් එය දරමින් සිට නැවත භවනයෙන් එළඹියෙමි.