343. ධජදායක ථේරාපදානය
“ලොක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ, තිස්ස නම් ශාස්තෘ තෙමේ ලොව පහළ විය. උන්වහන්සේගේ උපධික්‍ෂය දැක මා විසින් ධජයක් නගන ලදී.
“මැනවින් කරණ ලද එම කර්‍මය කරණ කොට ගෙනද මම මිනිස් සිරුර හැර තව්තිසාවට ගියෙමි.
“මම තුන්සිය වරක් දිව්‍ය රාජයය කරවීමි. එසේම, පන්සිය වරක් සක්විති රජ වීමි.
“කරවන ලද ප්‍රදේශ රාජ්‍ය ගණන් වශයෙන් ගිණිය නොහැකිය. පෙර තමා විසින් මනාකොට කරණලද ස්වකීය කර්‍ම ඵලය අනුභව කරමි.
“මින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. ධජ දානයාගේ මේ විපාකයයි.
“මම අද කැමතිවන්නේ නම් කඳු වන සහිතවූ ලෝකය කොමුපිලියෙන් වසන්නෙමි. මේ එදා මා විසින් කරන ලද පුණය කර්‍මයාගේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධජදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ධජදායකත්ථෙරස්සාපදානං තතියං.
344. තිකිඞ්කිණිපූජක ථේරාපදානය
“හිමවතට නුදුරෙහි “භුතගණ” නම් පර්‍වතයක් විය. එහිද ගස් මුදුනක එල්ලන ලද පවුල් සිවුරක් දුටිමි.
“මම එකල්හි කිකිණි මල් තුනක් කඩා, සතුටුවූයේ සතුටු සිතින් පවුල් සිවුරට පිදීමි.
“මින් තිස් එක්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. කිකිණි මල් තුනක් පිදීමෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිකිඞකණි පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තිකිඞ්කණිපූජකත්ථෙරස්සාපදානං චතුත්ථං.
345. නළාගාරික ථේරාපදානය
“හිමවතට නුදුරෙහි භාරිත නම් පර්‍වතයක් විය. නාරද නම් බුදුරජතෙම රුක් මුලක විසූහ.
“මම බට කුටියක් කොට එහි තණ සෙවිළි කළෙමි. එහි සක්මණක්ද පිරිසිදුකොට තථාගතයන් වහන්සේට දුනිමි.
“මම තුදුස්වන කපෙහි දෙව්ලොව සිත් අලවා විසීමි. සූසැත්තෑ වරක් දිව්‍ය රාජ්‍යය කරවීමි.