328. සුමනා වෙලිය ථේරාපදානය
2888. තාදී ගුණ ඇති, ලෝක ජ්‍යෙෂ්ඨවූ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේට ඒ සියලු ජනයෝ එක්ව මහා පූජාවක් කෙරෙත්.
2889. මම එකල්හි දෑසමන් මල්වලින් මල් දමක්ද, සුණු පිඩක්ද කොට බුද්‍ධාසනය ඉදිරියෙහි නගා තැබීමි.
2890. සියලු දෙන එක්ව උතුම් මල් දෙස බලත්. තාදී ගුණ ඇති බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට කවරෙකු විසින් මේ මල් පුදන ලදදැයි (අසත්.)
2891. මම එම චිත්ත ප්‍රසාදය කරණකොටගෙන නිර්‍මාණරතී දිව්‍ය ලෝකයෙහි උපනිමි. පෙර තමා විසින් කරන ලද පුණ්‍ය කර්‍මය (පිළිබඳ විපාකය) අනුභව කෙළෙමි.
2892. දිව්‍යවූ හෝ මනුෂ්‍යවූ හෝ යම් යම් යෝනියක උපදිම්ද, (ඒ හැම තැන්හිම) සියලු දෙනාම ප්‍රිය වෙමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
2893. සන්හුන් ඉඳුරන් ඇති තවුසනට කයින් හෝ, වචනයෙන් හෝ, යලි සිතින් හෝ මා විසින් කරණ ලද නින්දාවක් ගැන නොදනිමි.
2894. මම එම සුචරිතය කරණකොටගෙනද චිත්ත ප්‍රණිධීන් (ප්‍රාර්ත්‍ථනා) කරණකොටගෙනද, සියළු දෙනා විසින් පුදන ලද්දෙක් වෙමි. (තවුසනට) ආක්‍රොශ නොකිරීමෙහි මේ විපාකයයි.
2895. මින් එක් තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2896. මින් එකොළොස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති සහස්සාර නම් සක්විති රජෙක් වීමි.
2897. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමනා වෙලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සුමනාවෙලිය තෙරුන්ගේ අපදානය අටවැන්නයි.
329. පුප්ඵ ඡත්තිය ථේරාපදානය
2898. තාදී ගුණ ඇති, ලෝක ජ්‍යෙෂ්ඨවූ, සත්ත්‍වයන් නිවනට පමුණුවන්නාවූ, සත්‍යය දේශනා කරන්නාවූ, භාග්‍යවත්වූ සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන්හට
2899. දියෙහි හටගත් මනරම් නෙලුම් මල් ගෙනවුත් පුෂප ඡත්‍රයක් (මල් කුඩයක්) කොට පිදීමි.
2900. ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, ත්‍රිවිධ ලෝකයට අවබෝධ කළ ශාස්තෘවූ සිද්‍ධාර්ත්‍ථ බුදුරජ තෙමේ භික්‍ෂු සංඝයා මැද වැඩ සිටියේ මෙම ගාථාවෙන් වදාළ සේක.
2901. යමෙක් මාගේ සිත පහදවා මල්සැතක් (කූඩයක්) කරවීද, හෙතෙම එම සිත පැහැදවීම කරණකොටගෙන දුගතියක නොයයි (කියායි.)
2902. ලෝක නායකවූ සිද්‍ධාර්ත්‍ථ බුදුරජ තෙමේ මෙය වදාරා, පිරිස මෙහෙයවා, අහසට නැංගාහ.
2903. නරදෙවිවූ බුදුරජුන් නැගී ගිය කල්හි සේසතද නැගී ගියේය. බුදුරජුන්ගේ ඉදිරියෙහි උතුම් ඡත්‍රයද යයි.
2904. මින් සිව් අනූවන කපෙහිවූ යම් ඡත්‍රයක් පිදූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප ඡත්‍ර (මල් කුඩ) පූජාවෙහි මේ විපාකයයි.
2905. සූසැත්තෑවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති ජලසිඛ නම් අට සක්විති රජකෙනෙක් වූහ.
2906. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵ ඡත්තිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පුප්ඵඡත්තිය තෙරුන්ගේ අපදානය නවවැන්නයි.
330. සපිරිවාර ඡත්තදායක ථේරාපදානය
2907. ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, පදුමුත්තර බුදුරජතෙම අහසෙහි දිය වැස්සක් මෙන් දහම් වැසි වස්වති.
2908. අමා පිය (නිර්‍වාණ ධර්‍මය) දෙසන්නාවූ එම සම්බුදුරජුන් දුටිමි. (දැක) සිය සිත පහදවා තම ගෙට ගියෙමි.
2909. අලංකාර කරණ ලද ඡත්‍රයක් (කුඩයක්) ගෙන නරෝත්තමවූ බුදුරජුන් වෙත එළඹියෙමි. සතුටුවූයේ, සතුටු සිතින් මම (එය) අහසෙහි දැමීමි.
2910. මැනවින් සකස් කළ යානයක් මෙන්ද, දැමුණු උතුම් ශ්‍රාවකයෙකු මෙන්ද, සම්බුදුන් වෙත එළඹ හිස මතුයෙහි (උඩ) පිහිටියේය.
2911. ලොවට අනුකම්පා කරන්නාවූ, කාරුණීකවූ, ලෝකාග්‍රනායක බුදුරජ තෙමේ භික්‍ෂු සංඝයා මැද හිඳ මෙම ගාථාවන් වදාළ සේක.