325. නිමිත්ත සඤ්ඤක ථේරාපදානය
2852. මම චන්ද්රභාග නදී තීරයෙහි අසපුවක වෙසෙමි. මම වනයෙහි හැසිරෙන්නාවූ ස්වර්ණ මෘගයෙක් දිටිමි.
2853. එම ස්වර්ණ මෘගයා කෙරෙහි සිත පහදවා බුදුරජුන් සිහි කෙළෙමි. එම චිත්ත ප්රසාදය කරණකොටගෙන අනික් බුදුවරයන්ද සිහි කෙළෙමි.
2854. අතීතයෙහි යම් බුදු කෙනෙක් වූවාහුද, වර්තමානයෙහි හා අනාගතයෙහි යම් බුදුකෙනෙක් වෙත්ද, ඒ තෙකල්හිවූ බුදුවරුම මේ ස්වර්ණ මෘග රාජයා යම් සේද එසේම බබළත්.
2855. මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් බුදුවරයන් වහන්සේ කෙනෙක් සිතින් සිහිපත් කෙළෙම්ද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. ඒ බුදුවරුන් සිහිපත්කිරීමෙහි මේ විපාකයයි.
2856. මින් සත් විසිවන කපෙහි පෘථිවීශ්වරවූ, මහත් බල ඇති, අරඤ්ඤසත්ත නම් සකිවිති රජ කෙනෙක් වීමි.
2857. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නිමිත්ත සඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
නිමිත්තසඤ්ඤක තෙරුන්ගේ අපදානය පස්වැන්නයි.
326. අන්නසංසාවක ථේරාපදානය
2858. අතුරු අවුණෙහි (වීථිය මැද) වඩින්නාවූ, කසුන් ඇගෑවක් මෙන් බබලන, දෙතිස් මහා පුරිස් ලකුණු යුත්, රන්වන් බුදුරජුන් දුටිමි.
2859. සර්වාර්ත්ථයෙන් සිදුකළ (කෙළෙස්වලින් වන) කම්පාවක් නොමැති පස්මරුන් පරදවා ජයගත් සිදුහත් බුදුරජුන් වැඩමවා එම මහා මුනිවූ සර්වඥයන් වහන්සේ වැළඳවීමි.
2860. එකල්හි ලෙව්හි කාරුණීකවූ බුදුරජතෙම මා වෙත ආලෝකය පැතිරවූ සේක. මම බුදුරජුන් කෙරෙහි සිත පහදවා කල්පයක් ස්වර්ගයෙහි සතුටුවීමි.
2861. මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. භික්ෂු දානයාගේ මේ විපාකයයි.
2862. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අන්නසංසාවක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අන්නසංසාවක තෙරුන්ගේ අපදානය සයවැන්නයි.
327. නිග්ගුණ්ඩි පුප්ඵිය ථේරාපදානය
2863. යම් කලෙක්හි ආයු පිරිහී යෑමෙන් දෙවියෙක් දෙව්ලොවින් චුතවූයේද, (එකල්හි) අනුමෝදනය කරන්නාවූ දෙවියන්ගේ ත්රිවිධ ශබ්ද කෙනෙක් පිටවී යෙත් (කෙසේදයත්?)
2864. පින්වත, මින් චුතව මනුෂ්යයන්ගේ සහභාවයවූ සුගතියට යනු මැනව. මිනිස්වූයේ, සසුනෙහි උතුම්වූ ශ්රද්ධාව ලබව.
2865. ඒ ශ්රද්ධා තොමෝ බැසගන්නා ලදී. එහි හටගත් මුල් ඇත්තී, මැනවින් පිහිටන ලද්දී, වියයුතු වන්නීය. මනාකොට අවබෝධ කරණ ලද ධර්මයෙහි දිවි ඇති තාක් නොපසුබටවූ,
2866. කයින්ද, වචනයෙන්ද, සිතින්ද, බොහෝ කුසල්කොට නිදුක්වූ (ක්ලේශොෂධී රහිත බැවින්) පිරිසිදුවූ,
2867. (අත්බැව් සම්පත් හා භවභෝග සම්යක් උපදනා) ඔෂධිකවූ ඒ බොහෝ කුසල්ද කොට පරිත්යාගයෙන් යුතුව අනික් මිනිසුන්ද බ්රහ්මචරිය නම්වූ සද්ධර්මයෙහි පිහිටවනු මැනව, කියායි.
2868. නුවණැති දෙවිවරු (එසේ) චුතවන්නාවූ දෙවියනට දෙව්පුරයට නැවත එනු මැනවයි කියා මෙම අනුකම්පාවෙනුදු අනුමෝදනය (අනුව සතුටු කිරීම) කෙරෙත්.
2869. දිව්ය සමූහයා රැස්වූ කල්හි මට සංවේගයක් ඇතිවිය. (කෙසේදයත්?) මම මින් චුතව කිනම් යෝනියකට උත්පත්ති වශයෙන් යන්නෙම්ද කියායි.
2870. වඩනලද ඉඳුරන් ඇති ශ්රමණයෙක් තෙම මාගේ දුක දැන, මා ඒ දුකින් ගොඩගනු කැමැත්තේ, මාගේ සමීපයට පැමිණියේය.
2871. එකල්හි “සුමන” නම්වූ ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශ්රාවක තෙම අර්ත්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනය කොට මා සංවේගයට පත් කෙළේය.
දොළොස්වෙනි බණවරයි.
2872. මම උන්වහන්සේගේ වචනය අසා බුදුරජුන් කෙරෙහි සිත පැහැදවීමි. ඒ ප්රාඥයන් වහන්සේට අභිවාදනය කොට මම එහි කළුරිය කෙළේ වෙමි.