316. ආසනත්ථවික ථේරාපදානය.
2793. “ලෝක බන්ධුවූ සිඛී බුදුරජුන්ගේ “උත්තම” නම් චෛත්යයක් විය. එකල්හි මම ජන සඤ්චාර විරහිත මහ වෙනෙහි මංමුලාවූයේ (ඒ මේ අත) හැසිරෙමි.
2794. “වනයෙහි නික්ම (යන) මා විසින් (එම බුදුරජුන්ගේ) ශ්රේෂඨ බුද්ධ ශාසනය දක්නා ලදී. (උතුරු සළුව) එකස්කොට, ඇඳිලි බැඳ, ලෝක නායකවූ බුදුරජුන්හට ස්තූති කෙළෙමි.
2795. “ලෝකයෙහි අසහාය නායකවූ බුදුරජුන්හට දිවා (දවල් කාලය මුළුල්ලෙහි) ස්තූතිකොට සොම්නස්වූයේ, සොම්නස්වූ සිතින්ම මෙම වචන කීමි.
2796. ““පුරුෂ ශ්රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂොත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ලෝක ජ්යෙෂ්ඨයන් වහන්ස, නර ශ්රේෂ්ඨයන් වහන්ස, මහා වීරයන් වහන්ස, (ඔබ) සර්වඥ වෙහිද කියායි.
2797. “මම බුද්ධාසනය නිමිති කිරීමෙන් සුඛී බුදුරජුන්ට ස්තූති කොට (එම) බුද්ධාසනයට වැඳ, උතුරු දිගට මුහුණ ලා ගියෙමි.
2798. “මින් එක් තිස්වන කපෙහි බුදුරජුන්හට ස්තූති කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ස්තූති කිරීමෙහි මේ විපාකයයි.
2799. “මින් සත් විසිවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති, අතුල්ය නම් සක්විති රජකෙනෙක් වූහ.
2800. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආසනත්ථවික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ආසනසන්ථවිකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
317. සද්දසඤ්ඤක ථේරාපදානය.
2801. “දෙතිස් මහා පුරිස් ලකුණෙන් මනා දර්ශනය ඇති, මහා වීරවූ, සිඛී බුදුරජ තෙම අමා දහම් දෙසමින් ශ්රාවක සංඝයා විසින් පිරිවරණ ලදුව, උත්තම විහාරයෙහි වැඩ වෙසෙයි.
2802. “එසේ ඒ මිහිරිවූ වචනයෙන් මහා ජනයාට සංග්රහ කරණ කල්හි දෙවි මිනිසුන් අතරෙහි පැතිරීගිය දෙසුම් හඬද මහත් විය.
2803. “මෙසේ සිදුහත් බුදුරජුන්ගේ (දහම් දෙසන්නාවූ) මහත් ශබ්ද අසා එම ශබ්දයෙහි සිත පහදවා ලෝක නායකවූ බුදුරජුන්හට වැන්දෙමි.
2804. “මින් සිව් අනූවන කපෙහි එකල්හි බුදුරජුන්ගේ මිහිරි හඬෙහි යම් ශබ්ද සංඥාවක් ලැබූවෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ සංඥාවෙහි මේ විපාකයයි.
2805. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්දසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සද්දසඤ්ඤකත්ථෙරස්සාපදානං සත්තමං.
318. තිරංසිය ථේරාපදානය.
2806. “ශ්රේෂ්ඨ ජන්ම ඇති, කෙශර සිංහයෙකු වැනිවූද, පර්වතයෙහි (දිලිසෙන) ගිනිකඳක් වැනිවූද, සියලු දිගින් බැබුළුනාවූ කඳු අතුරෙහි (වැඩහුන්) සිදුහත් බුදුරජුන් (දුටිමි.)
2807. “(එම බුදුරජුන්ගේ) බුද්ධාලෝකයද, සූර්ය්යාලෝකයද, චන්ද්රාලෝකයද දැක මට ප්රීතිය පහළවිය.
2808. “(මේ) ත්රිවිධ ආලෝකයන් දැක, අඳුන් දිවි සම එකස්කොට (හැඳ), ශ්රාවකෝත්තමවූ, ලෝකනායකවූ, බුදුරජුන්හට ස්තූති කෙළෙමි.
2809. ““ලෙව්හි ලොව තුළ පැතිරි අඳුරු දුරුකරන්නාවූ එළි පතුරුවන්නෝ තිදෙනෙක් වෙති. (එනම්) චන්ද්රයාද, සූර්ය්යයාද, ලෝකනායකවූ බුදුරජද යන මේ තිදෙනායි.
2810. “මා විසින් මෙසේ උපමා දක්වා මහා මුනිවූ බුදුරජ පසසන ලදී. බුදුරජුන්ගේ ගුණ ප්රකාශකොට කල්පයක් මුළුල්ලෙහි ස්වර්ගයෙහි සතුටුවීමි.
2811. “මින් සිව් අනුවන කපෙහි යම් බුදුරජාණන් වහන්සේගේ ගුණ පැසසීමක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුදුගුණ පැසසීමෙහි මේ විපාකයයි.
2812. “මින් එක් සැටවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති “ඤාණධර” නම් සක්විති රජෙක් වීමි.
2813. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිරංසිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තිරංසියත්ථෙරස්සාපදානං අට්ඨමං.