314. සත්තපදුමිය ථේරාපදානය.
2781. “මම ගංවුරෙහි “නෙසාද” නම් බමුණෙක්ව පියුම් මලින් අසපුව හැමද වෙසෙමි.
2782. “අහසින් වඩින ලෝක නායකවූ, ස්වර්‍ණ වර්‍ණවූ, සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන් දැක මට ප්‍රීතිය පහළ විය.
2783. “ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ, සම්බුදුරජුන් වෙත පෙර ගමන් කොට අසපුවද පිළිගන්වා උතුම් නෙළුඹු වලින් පිදීමි.
2784. “මින් සිව් අනූවන කපෙහි වූ යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
2785. “මින් එක් විසිවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති, “පාදපාවර” නම් සිව් සක්විති රජකෙනෙක් වූහ.
2786. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තපදුමිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සත්තපදුමියත්ථෙරස්සාපදානං චතුත්ථං.
315. පුප්ඵාසනදායක ථේරාපදානය.
2787. “නුදුරෙන් වඩින්නාවූ ස්වර්‍ණ වර්‍ණවු සියක් රැස් ඇති හිරු මෙන් (බබළන්නාවූ) පස් මරුන් දිනූ, සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන් දිටිමි.
2788. “(දැක උන් වහන්සේට පෙර ගමන් කොට (මාගේ) අසපුවට පමුණුවා) පැහැදි සිතින් මා විසින් පුෂ්පාසනයක් දෙන ලදී.
2789. “එකල්හි මම හටගත් ප්‍රීති ඇත්තේ ඇඳිලි බැඳ බුදුරජුන් කෙරෙහි සිත පහදවා එම පුණ්‍ය කර්‍මය දියුණු කෙළෙමි.
2790. “පස් මරුන් දිනූ බුදුරජුන් කෙරෙහි මා විසින් කරණ ලද යම් පින්කමක් ඇද්ද, එම සියළුම කුශලය කරණ කොට ගෙන ශාසනය කෙරෙහි පිරිසිදුවූ (රහත්) කෙනෙක් වෙමි.
2791. “මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි (යම්) පුෂ්පාසන දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්පාසන දානයාගේ මේ විපාකයයි.
2792. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵාසනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පුප්ඵාසනදායකත්ථෙරස්සාපදානං පඤ්චමං.
316. ආසනත්ථවික ථේරාපදානය.
2793. “ලෝක බන්ධුවූ සිඛී බුදුරජුන්ගේ “උත්තම” නම් චෛත්‍යයක් විය. එකල්හි මම ජන සඤ්චාර විරහිත මහ වෙනෙහි මංමුලාවූයේ (ඒ මේ අත) හැසිරෙමි.
2794. “වනයෙහි නික්ම (යන) මා විසින් (එම බුදුරජුන්ගේ) ශ්‍රේෂඨ බුද්‍ධ ශාසනය දක්නා ලදී. (උතුරු සළුව) එකස්කොට, ඇඳිලි බැඳ, ලෝක නායකවූ බුදුරජුන්හට ස්තූති කෙළෙමි.
2795. “ලෝකයෙහි අසහාය නායකවූ බුදුරජුන්හට දිවා (දවල් කාලය මුළුල්ලෙහි) ස්තූතිකොට සොම්නස්වූයේ, සොම්නස්වූ සිතින්ම මෙම වචන කීමි.
2796. ““පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂොත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ලෝක ජ්‍යෙෂ්ඨයන් වහන්ස, නර ශ්‍රේෂ්ඨයන් වහන්ස, මහා වීරයන් වහන්ස, (ඔබ) සර්‍වඥ වෙහිද කියායි.
2797. “මම බුද්ධාසනය නිමිති කිරීමෙන් සුඛී බුදුරජුන්ට ස්තූති කොට (එම) බුද්‍ධාසනයට වැඳ, උතුරු දිගට මුහුණ ලා ගියෙමි.
2798. “මින් එක් තිස්වන කපෙහි බුදුරජුන්හට ස්තූති කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ස්තූති කිරීමෙහි මේ විපාකයයි.
2799. “මින් සත් විසිවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති, අතුල්‍ය නම් සක්විති රජකෙනෙක් වූහ.
2800. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආසනත්‍ථවික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ආසනසන්ථවිකත්ථෙරස්සාපදානං ඡට්ඨං.