312. භොජනදායක ථේරාපදානය.
2771. “මැනවින් වැඩුනු තරුණ සල් ගසක් මෙන්ද, උස්ව නැගුණාවූ මුරුංගා ගසක් මෙන්ද, අහසෙහි දේදුන්නක් මෙන්ද, බුදුරජ තෙම හැම කල්හිම බබළයි.
2772. “මහර්ෂීවූ, දෙවැනි දේවවූ, ඒ වෙස්සභූ බුදුරජුන්හට මම පැහැදි සිතින් බොජුනක් දුනිමි.
2773. “එය පිළිගත් සියල්ල තෙමේම අවබෝධ කළාවූ පස්මරුන් ජයගත් බුදුරජ තෙම මට අනුමෝදනා දහම් දේශනා කළ සේක. ‘භවයෙහි උපදනා කල්හි ඔබහට (මෙහි) පුණ්ය ඵලය ලැබේවා’ යි කියායි.
2774. “මින් එක් තිස්වන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිමි. (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. භොජන දානයෙහි මේ විපාකයයි.
2775. “මින් පස්විසිවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති “අමිත්තභ” නම් සක්විති රජෙක් වීමි.
2776. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බොජනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
භොජනදායකත්ථෙරස්සාපදානං දුතියං.
313. ගතසඤ්ඤක ථේරාපදානය.
2777. “අනි ලඤ්ජස නම් වූද, අම්බර නම්වූද අහසෙහි පියවර නැත. එම අහසෙහි වඩින්නාවූ සිදුහත් බුදුරජුන් දුටිමි.
2778. “සුළඟින් සෙලවෙන්නාවූ සම්බුදුරජුන්ගේ සිවුර දැක (එසේම) උන්වහන්සේගේ ගමනද දැක බුදුරජුන් කෙරෙහි එකෙනෙහි මාගේ ප්රීතිය හටගත්තේය.
2779. “මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් (බුදුරජුන්ගේ ගමන පිළිබඳ) සංඥාවක් ලැබූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ සංඥාවෙහි මේ විපාකයයි.
2780. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගතසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ගතසඤ්ඤකත්ථෙරස්සාපදානං තතියං.
314. සත්තපදුමිය ථේරාපදානය.
2781. “මම ගංවුරෙහි “නෙසාද” නම් බමුණෙක්ව පියුම් මලින් අසපුව හැමද වෙසෙමි.
2782. “අහසින් වඩින ලෝක නායකවූ, ස්වර්ණ වර්ණවූ, සිද්ධාර්ත්ථ බුදුරජුන් දැක මට ප්රීතිය පහළ විය.
2783. “ලෝක ජ්යෙෂ්ඨවූ, නරශ්රේෂ්ඨවූ, සම්බුදුරජුන් වෙත පෙර ගමන් කොට අසපුවද පිළිගන්වා උතුම් නෙළුඹු වලින් පිදීමි.
2784. “මින් සිව් අනූවන කපෙහි වූ යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2785. “මින් එක් විසිවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති, “පාදපාවර” නම් සිව් සක්විති රජකෙනෙක් වූහ.
2786. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තපදුමිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සත්තපදුමියත්ථෙරස්සාපදානං චතුත්ථං.
315. පුප්ඵාසනදායක ථේරාපදානය.
2787. “නුදුරෙන් වඩින්නාවූ ස්වර්ණ වර්ණවු සියක් රැස් ඇති හිරු මෙන් (බබළන්නාවූ) පස් මරුන් දිනූ, සිද්ධාර්ත්ථ බුදුරජුන් දිටිමි.
2788. “(දැක උන් වහන්සේට පෙර ගමන් කොට (මාගේ) අසපුවට පමුණුවා) පැහැදි සිතින් මා විසින් පුෂ්පාසනයක් දෙන ලදී.
2789. “එකල්හි මම හටගත් ප්රීති ඇත්තේ ඇඳිලි බැඳ බුදුරජුන් කෙරෙහි සිත පහදවා එම පුණ්ය කර්මය දියුණු කෙළෙමි.
2790. “පස් මරුන් දිනූ බුදුරජුන් කෙරෙහි මා විසින් කරණ ලද යම් පින්කමක් ඇද්ද, එම සියළුම කුශලය කරණ කොට ගෙන ශාසනය කෙරෙහි පිරිසිදුවූ (රහත්) කෙනෙක් වෙමි.