298. සරණගමණීය ථේරාපදානය
මම හිමවත් පව්වෙහි වැද්දෙක් වීමි. ලෝක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ, විපස්සී බුදුරජුන් දිටිමි.
මම සම්බුදු රජුන් වෙත එළඹ වතාවත් කෙළෙමි. විපදෝත්තමවූ, තාදි ගුණ ඇති බුදුරජුන්ගේ සරණද ගියෙමි.
මින් එක් අනූවන කපෙහි බුදුරජුන් සරණකොට ගියෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ සරණාගමනයෙහි විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සරණගමණීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සරණගමනියත්ථෙරස්සාපදානං අට්ඨමං.
299. අම්බපිණ්ඩිය ථේරාපදානය
මම (එකල්හි) නම්න් රොමස නම් වීමි. “දානවං” යයිද ප්‍රසිද්ධ වූයේ වෙමි. ඒ මා විසින් විපස්සී බුදුරජුන්හට අඹ ගෙඩියක් දෙන ලදී.
මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් අඹ දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) අගතියක් නොදනිමි. අඹ දනෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බපිණ්ඩිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අම්බපිණ්ඩියත්ථෙරස්සාපදානං නවමං.
300. අනුසංසාවක ථේරාපදානය
මම පිඬු පිණිස හැසිරෙන්නාවූ විපස්සී බුදුරජුන් දුටිමි. විපදෝත්තමවූ, තාදී ගුණ ඇති (එම බුදුරජුන්හට) සැන්දක් පමණවූ භික්‍ෂාව දුනිමි.
මම එකල්හි පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ වැන්දෙමි. උත්තමාර්ත්‍ථයවූ නිවනට පැමිණීම පිණිස බුදුරජුන්හට පැසසීමි.
මින් එක් අනූවන කපෙහි මම බුදුරජුන්හට පැසසීමි. (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පැසසීමෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අනුසංසාවක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අනුසංසාවකත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
චිතක, පාරිඡත්ත, සද්ද, ගොසීසසන්ථර, පද, පදෙස, සරණ, අම්බ, සංසාවක යැයි මෙහි සතළිස් ගාථාවන් ඇති බව නුවණැත්තන් විසින් දත යුතුය.
චිතකපූජකවග්ගො තිංසතිමො.
මෙහි වර්ග උද්දානය:
කණිකාර, හත්ථිදද, ආලම්බණ, උදකාසන, තුවරදායක, ථොමක, වෙච (වෙල), උක්ඛෙපක, සීසුපධාන (සීස), පණ්ණද සහ චිතකපූජක යන මොහුයි. මේ වර්ගයෙහි ගාථාවෝ සියල්ල හාරසිය පනස් එකකි. (මේ තෙවැනි සියයෙහි) සියලු ගාථා දෙදහස් පන්සිය හැත්තෑ දෙකකි. අපදානයන් තුන් සියයකි. අර්ථදර්ශීන් විසින් ගණින ලදී.
තතියසතකං සමත්තං.