291. චිතකපූජක ථේරාපදානය
එකල්හි මම අජිත නම් බමුණෙක් වීමි. පූජාවක් කරනු කැමැත්තේ නොයෙක් මල් රැස් කළෙමි.
සිඛී බුදුරජාණන් වහන්සේගේ ඇවිලෙන්නාවූ සෑය දැක මම එම මල් ගෙනවුත් සැයෙහි විසිරවීමි.
මින් එක් තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
මින් සත් විසි වන කපෙහි මනුජාධිපතිවූ, මහත් බල ඇති, සුපජ්ජලිත නම් සක්විති රජ කෙනෙක් වූහ.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
චිතකපූජකත්ථෙරස්සාපදානං පඨමං.
292. පුප්ඵධාරක ථේරාපදානය
මම වැහැරි සිවුරු දරන්නාවූ, එකස්කොට අඳනා ලදවූ අඳුන් දිවි සම් ඇති, උපදවූ පංචාභිඥා ඇති, සඳ පිරිමැදුමෙහි සමත් (ඎද්ධිමත්) තවුසෙක් වීමි.
ලෝකයාට අලෝකයක්වූ, මා සමීපයට වැඩියාවූ විපස්සී බුදුරජුන් දැක, මම එම ශාස්තෲන් වහන්සේට පරසතු මල් (ගෙනවුත් කුඩයක් මෙන් කොට) දැරීමි.
මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප (ඡත්රයක්) දැරූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (මල් කුඩය) දැරීමෙහි මේ විපාකයයි.
මින් සත් අසූවන කපෙහි පෘථිවීශ්වරවූ, මහත් බල ඇති සමන්තධාරණ නම් එක් සක්විති රජෙක් වීමි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵධාරක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පුප්ඵධාරකත්ථෙරස්සාපදානං දුතියං.
293. ඡත්තදායක ථේරාපදානය
එකල්හි මාගේ පුත්ර තෙමේ කසාවත් හැඳියේ පැවිදිවිය. හෙතෙම ශ්රාවක බෝධිය (රහත් බවට) පැමිණියේ, ලෝකයා විසින් පුදනු ලැබූවෙක්ව පිරිනිවන් පෑහ.
මම සිය පුතා සොයමින් පස්සෙන් ගියෙමි. මම පිරිනිවන් පෑ රහතන් වහන්සේගේ සෑය වෙත ගියෙමි.
මම එහි ඇඳිලි බැඳගෙන සෑය වැඳ එකල්හි සුදු කුඩයක්ද ගෙන (සෑයට) නගා තැබීමි.
මින් සිව් අනූවන කපෙහි යම් කුඩ (ඡත්ර) පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ ඡත්ර දානයාගේ විපාකයයි.
මින් පස් විසිවෙනි කපෙහි ජනාධිපතිවූ, මහත් බල ඇති මහාරහ නම් තුන් සක්විති රජකෙනෙක් වූහ.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඡත්තදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ඡත්තදායකත්ථෙරස්සාපදානං තතියං.
294. සද්දසඤ්ඤක ථේරාපදානය
හිරු උදාවන්නටත් පෙර ආලෝකය මහත් විය. (මෙය) මහර්ෂිවූ බුදුරජාණන් වහන්සේගේ ලොව පහළවීමයි.
(ගිලන් ඇඳෙහි වැතිර සිටි) මම එහි ශබ්ද ඇසීමි. ඒ බුදුරජුන් නොදිටීමි. මරණාසන්න අවස්ථාව පැමිණි කල්හිද බුද්ධ යන නාමය සිහි කෙළෙමි.
මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් බුද්ධ යන හැඟීමක් ලැබුයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ සංඥාවෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්දසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සද්දසඤ්ඤකත්ථෙරස්සාපදානං චතුත්ථං.