28. උත්තරිය ථේරාපදානය
983. “මම එකල්හි චන්‍ද්‍රභාගා නදී තීරයෙහි (සූ සූ හඬ නගමින් ජලයෙන් උඩට දිය බුබුළු මතු කරණ බැවින් නොහොත් කුඩා මත්ස්‍ය සමූහයා කඩ කඩ කොට මරා දමන බැවින්) සුංසුමාර නම්වූ චණ්ඩ මත්ස්‍යයෙක් (කිඹුලෙක්) වීමි. ගොදුරු සෙවීමෙහි නිරතවූ මම නදී තීර්ත්‍ථයකට පැමිණියෙමි.
984. “එසමයෙහි තෙමේම සියල්ල අවබෝධ කළාවූ, අග්‍ර පුද්ගලවූ ඒ සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේ ගඟ තරණය කරණු කැමැත්තෝ නදී තීර්ථයට පැමිණි සේක.
985. “බුදුරජාණන් වහන්සේ එළඹි කල්හි මමද එහි ගියෙමි. එළඹ තථාගතයන් වහන්සේට මෙම වචනය කීමි. කෙබඳු වචනයක්ද යත්?
986. “මහා වීරයන් වහන්ස, නගිනු මැනව. මම ඔබ (ගඟින්) එතර කරවන්නෙමි. (මේ ජලය) මාගේ පරම්පරාවෙහිවූ ගෝචරයයි.”
987. “මාගේ ගිගුම් හඬ (ආරාධනය) අසා බුදුරජාණන් වහන්සේ (මාගේ පිටෙහි) නැගුන සේක. සතුටු සිතින් පිනා ගියේ ලෝකනාථයන් වහන්සේ එතෙර කෙළෙමි.
988. “ගඟ පරතෙරෙහිවූ සිද්‍ධාර්ථ බුදුරජතෙම එහිදී මා අස්වැසීය. (කෙසේද යත්?) නිවණට පැමිණෙන්නෙහිය. (කියායි).
989. “මම එම කයින් චුතව දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි. දිව්‍යප්සරාවන් විසින් පිරිවරණ ලදුයේ දිවසුව අනුභව කෙළෙමි.
990. “මම ශක්‍ර දේවේන්‍ද්‍රව සත්වරක් දිව්‍ය රාජ්‍යය කෙළෙමි. තෙවරක් පෘථිවීශ්වරවූ සක්විති රජ වීමි.
991. “මම විවේකයෙහි යෙදුනේ, ප්‍රඥා ඇත්තේ, මැනවින් සංවරණයවූ ඉඳුරන් ඇත්තේ, සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි මේ අන්තිම ශරීරය දරමි.
992. “මින් සිව් අනූවන කපෙහි යම් බුදුවරයෙක් (ගඟින්) එතර කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (එම) එතර කිරීමෙහි මේ විපාකයයි.
993. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උත්තරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
උත්තියත්ථෙරස්සාපදානං අට්ඨමං.
29. එකඤ්ජලික ථේරාපදානය
994. “(අවන්හල් සහිත) ඇතුළු වීථියෙහි වඩින්නාවූ (සසර කතරින් සත්ත්‍වයා එතෙර කරණ බැවින්) ශ්‍රේෂඨ සාර්ත්‍ථ වාහකයෙකුවූ, මනුෂ්‍ය වීරයෙකුවූ (සත්ත්‍වයා නිවන් පුරයට පමුණුවන බැවින්) විනායකවූ,
995. “නොදැමුණු අය දමනය කරන්නාවූ, තාදී ගුණ ඇති, මහා වාදීවූ, මහා ප්‍රාඥවූ, ස්වර්‍ණවර්‍ණවූ විපස්සි බුදුරජාණන් වහන්සේ දැක මම පැහැදුණේ, සොම්නස් සිත් ඇත්තේ දෑත් එක්කොට ඇඳිලි කෙළෙමි.
996. “මින් එක් අනූවන කපෙහිවූ එකල්හි (විපස්සී බුදුරජුන්හට) යම් ඇඳිලි බැඳීමක් (වැඳීමක්) කෙළෙම්ද (ඒ හේතුවෙන්) අගතියක් නොදනිමි. අඤ්ජලී කර්‍මයාගේ මේ විපාකයයි.
997. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකඤ්ජලික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
එකඤ්ජලිකත්ථෙරස්සාපදානං නවමං.
30. ඛොමදායක ථේරාපදානය
998. “එකල්හි මම බන්ධුමතී නගරයෙහි වෙළෙන්දෙක් වීමි. එම වණික් කර්‍මයෙන්ම භාර්‍ය්‍යාව පෝෂණය කරමි. (දාන, ශීලාදී පුණ්‍ය) බීජ සම්පත්ද රෝපණය කරමි.
999. “වීථියට පිළිපන් ශාස්තෘවූ විපස්සී බුදුරජාණන් වහන්සේට පින් පිණිස කොමු පිලියක් මා විසින් දෙන ලදී.