25. අන්නසංසාවක ථේරාපදානය
969. “(අවන්හල් සහිත) ඇතුළු වීථියෙහි වඩින්නාවූ ස්වර්‍ණවර්‍ණවූ රන් තොරණක් මෙන් බබලන දෙතිස් මහ පුරිස් ලකුණු ඇති,
970. “ලොව බබුළුවන්නාවූ, අපමණ ගුණ ඇති, අනූපමවු (උපමා රහිත) දැමුනාවූ, දීප්තිය දරන්නාවූ, සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේ දැක උතුම්වූ ප්‍රීතියක් ලැබීමි.
971. “මම බුදුරජාණන් වහන්සේ වැඳ, ඒ මහා මුණීන් වහන්සේ වැළඳවීමි. එකල්හි මා කාරුණීකවූ බුදුරජාණන් වහන්සේ මට අනුමෝදනා (ධර්‍මය දේශනා) කළ සේක.
972. “(සත්ත්‍වයාට) උතුම්වූ අස්වැසිලි කරණ ඒ මහා කාරුණීකවූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා මම කල්පයක් ස්වර්‍ගයෙහි සතුටුවීමි.
973. “මින් සිව් අනූවන කල්පයෙහි එකල්හි යම් දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. භික්‍ෂා දානයාගේ මේ විපාකයයි.
974. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අන්නසංසාවක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අන්නසංසාවකත්ථෙරස්සාපදානං පඤ්චමං.
26. ධූපදායක ථේරාපදානය
975. “ලෝක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේගේ (ගන්‍ධ කුටියට) පැහැදුණු සිතින් මා විසින් කුටිධූපයක් (ගඳකිළියට සුවඳ දුමක්) දෙන ලදී.
976. “යම් පින්කමක් කරණකොටගෙන දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ, යම් යම් භවයක උපදිම් නම් සියළු දෙනාටම ප්‍රිය වෙමි. සුගන්ධධූප දානයාගේ මේ විපාකයයි.
977. “මින් සිව් අනුවන කපෙහිවූ එකල්හි යම් සුවඳ (දුම් දනක් දුනිම්ද) (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සුගන්ධධූප දානයාගේ මේ විපාකයයි.
978. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධූපදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ධූපදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
27. පුලින පූජක ථේරාපදානය
979. “විපස්සි බුදුරජාණන් වහන්සේගේ උතුම්වූ බොධි දාම්මූලයෙහි පරණ වැලි අස්කොට පිරිසිදු (අළුත්) වැලි විසිරවීමි.
980. “මින් එක් අනූවන කපෙහි මම යම් වැලි (විසිරවීමේ) දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මෙය වාලුකා (වැලි) දානයාගේ විපාකයයි.
981. “මින් තෙපණස්වන කපෙහි ජනයා අභිභවනය කරන්නාවූ මහත් බල ඇති “මහා පුලින” නම්වු සක්විති රජෙක් වීමි.
982. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුලින පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පුලිනපූජකත්ථෙරස්සාපදානං සත්තමං.
28. උත්තරිය ථේරාපදානය
983. “මම එකල්හි චන්‍ද්‍රභාගා නදී තීරයෙහි (සූ සූ හඬ නගමින් ජලයෙන් උඩට දිය බුබුළු මතු කරණ බැවින් නොහොත් කුඩා මත්ස්‍ය සමූහයා කඩ කඩ කොට මරා දමන බැවින්) සුංසුමාර නම්වූ චණ්ඩ මත්ස්‍යයෙක් (කිඹුලෙක්) වීමි. ගොදුරු සෙවීමෙහි නිරතවූ මම නදී තීර්ත්‍ථයකට පැමිණියෙමි.
984. “එසමයෙහි තෙමේම සියල්ල අවබෝධ කළාවූ, අග්‍ර පුද්ගලවූ ඒ සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේ ගඟ තරණය කරණු කැමැත්තෝ නදී තීර්ථයට පැමිණි සේක.
985. “බුදුරජාණන් වහන්සේ එළඹි කල්හි මමද එහි ගියෙමි. එළඹ තථාගතයන් වහන්සේට මෙම වචනය කීමි. කෙබඳු වචනයක්ද යත්?
986. “මහා වීරයන් වහන්ස, නගිනු මැනව. මම ඔබ (ගඟින්) එතර කරවන්නෙමි. (මේ ජලය) මාගේ පරම්පරාවෙහිවූ ගෝචරයයි.”
987. “මාගේ ගිගුම් හඬ (ආරාධනය) අසා බුදුරජාණන් වහන්සේ (මාගේ පිටෙහි) නැගුන සේක. සතුටු සිතින් පිනා ගියේ ලෝකනාථයන් වහන්සේ එතෙර කෙළෙමි.
988. “ගඟ පරතෙරෙහිවූ සිද්‍ධාර්ථ බුදුරජතෙම එහිදී මා අස්වැසීය. (කෙසේද යත්?) නිවණට පැමිණෙන්නෙහිය. (කියායි).