30. ඛොමදායක ථේරාපදානය
998. “එකල්හි මම බන්ධුමතී නගරයෙහි වෙළෙන්දෙක් වීමි. එම වණික් කර්‍මයෙන්ම භාර්‍ය්‍යාව පෝෂණය කරමි. (දාන, ශීලාදී පුණ්‍ය) බීජ සම්පත්ද රෝපණය කරමි.
999. “වීථියට පිළිපන් ශාස්තෘවූ විපස්සී බුදුරජාණන් වහන්සේට පින් පිණිස කොමු පිලියක් මා විසින් දෙන ලදී.
1000. “මින් එක් අනූවන කපෙහිවූ එකල්හි (මම) යම් කොමු පිළි දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. කොමු පිළි දානයාගේ මේ විපාකයයි.
1001. “මින් සත් විසිවන කපෙහි සිව් මහ දිවයිනෙහි අධිපතිවූ සප්තරත්නයන්ගෙන් යුක්තවූ “සින්‍ධවසන්‍දන” නම් සක්විති රජකේ වීමි.
1002. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඛොමදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ඛොමදායකත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
සුභූති ද, උපවාන ද, සරණ ද, සීලගාහක ද, අන්නසංසාවක ද, ධූප ද, පුලින ද, උත්තරිය ද. අඤ්ජලී ද, ඛොමදායී ද (යන මේ දස දෙනෙකි). තෙවැනි ගණයෙහි (වර්ගයෙහි) එකසිය අසූපස් ගාථාවෝ කියන ලද්දාහුය.
සුභූතිවග්ගො තතියො.
සතරවෙනි බණ වරයි.
4. කුණ්ඩධාන වග්ග
31. කුණ්ඩධාන ථේරාපදානය
“සතියක් (නිරෝධ සමාපත්තියට සමවැදී) විවේකයෙන් සිටි සියල්ල තෙමේම අවබෝධ කළාවූ අග්‍ර පුද්ගලවූ (පදුමුත්තර) බුද්ධ ශ්‍රේෂඨයන් වහන්සේ වෙත එළඹීමි.
“මම (නිරෝධ සමාපත්තියෙන්) නැගී සිටි මහා මුනිවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට (දානය පිළිගැන්වීමට) සුදුසු කළැයි දැන මහත්වූ කෙසෙල් කැණක් ගෙන එළඹියෙමි.
“ලොකනායකවූ, මහා මුනිවූ, භාග්‍යවතුන් වහන්සේ එම පලය (කෙසෙල් කැණ) පිළිගෙන මාගේ සිත පහදවන සේක් වැළඳු සේක.
“(තමාට වැඩි කෙනෙකුන් නැති බැවින්) සත්ත්‍වයන් සසර කතරින් එතෙර කරණ බැවින් සාර්ත්‍ථවාහකයෙකු වැනිවූ බුදුරජාණන් වහන්සේ වළඳා ස්වකීය අසුනෙහි වැඩ හිඳ, මෙම ගාථාවන් වදාළ සේක.
“මෙම පර්‍වතයෙහි රැස්වූ යම් යක්‍ෂ කෙනෙක් වෙසෙත් නම් (ඔවුහුද), අරණෙහි (මෙම ධර්‍මයට සුදුසු අනිකුත්) භූතයෝද මාගේ වචනය අසත්වා!
“ඒ යමෙක් කේශර සිංහයෙකු මෙන් සර්‍වඥවූ මා වෙත එළඹියේද, මම ඔහු (කවරෙක්දැයි) ප්‍රකාශ කරන්නෙමි. (එය) කියන්නාවූ මාගේ වචනය අසව්.