267. ජවහංසක ථේරාපදානය
26. “එකල්හි මම චන්‍ද්‍රභාග නදී තීරයෙහි වැද්දෙක් වීමි. අහස් මගෙහි වඩින්නාවූ සිදුහත් බුදුරජුන් දිටීමි.
27. “මම මහාමුනිවූ එම බුදුරජුන් බලමින්, ඇඳිලි බැඳ, සිය සිත පහදවා ලෝකනායකවූ උන්වහන්සේට වැන්දෙමි.
28. “මින් සිව් අනූවන කපෙහි යම් බුදුවරයෙකු වැන්දෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වන්‍දනාවෙහි මේ විපාකයයි.
29. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ජවහංසක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
ජවහංසකත්ථෙරස්සාපදානං සත්තමං.
268. සලලපුප්ඵිය ථේරාපදානය
30. “මම එකල්හි චන්‍ද්‍රභාඝා නදී තීරයෙහි කිඳුරෙක් වීමි. (එහිදී) රශ්මි ජාලාවන්ගෙන් ගැවසීගත් විපස්සී බුදුරජුන් දුටුවෙමි.
31. “මම පහන් සිතැත්තේ, සොම්නස්වූයේ, මහත්වූ ප්‍රීතියෙන් සලල මල් ගෙන (එම) විපස්සී බුදුරජුන්හට විසිරවීමි (පිදීමි.)
32. “මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙලෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
33. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සලලපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
සළලපුප්ඵියත්ථෙරස්සාපදානං අට්ඨමං.
269. උපාගතාසය ථේරාපදානය
34. “හිමවත මැද මැනවින් නිමාකළ විලක් විය. මම එහි අනුන් වෙහෙසෙන සුළු භයානක රකුසෙක් වීමි.
35. “අනුකම්පාව ඇති, කරුණාවන්තවූ ඒ විපස්සී බුදුරජතෙම මා (එම දරුණු ජීවිතයෙන්) ගොඩලනු කැමැත්තේ මාගේ සමීපයට පැමිණි සේක.
36. “මම එසේ පැමිණියාවූ, මහාවීරවූ, දෙවියනට දෙවිවූ, නරශ්‍රේෂ්ඨවූ (උන්වහන්සේ දුටිමි.) (දැක) සිටින තැනින් නික්ම ශාස්තෲන් වහන්සේට වැන්දෙමි.
37. “මින් එක් අනූවන කපෙහි පුරුෂොත්තමවූ බුදුරජුන්හට යම් වැඳීමක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වැඳීමෙහි මේ ප්‍රතිඵලයයි.
38. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපාගතාසය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
උපාගතාසයත්ථෙරස්සාපදානං නවමං.
270. තරණීය ථේරාපදානය
39. “දක්‍ෂිණාර්හවූ, ස්වර්‍ණවර්‍ණවූ, භික්‍ෂු සංඝයා විසින් පිරිවරණ ලද, ශාස්තෲවූ විපස්සී බුදුරජතෙම ගංතෙරෙහි සිටිසේක.
40. “මහ මුහුදු තරණය කරණ නැවක් එහි නොවීය. මම ගඟින් නික්ම අවුත් ලෝකනායකවූ එම බුදුරජුන් එතර කරවීමි.
41. “මින් එක් අනූවන කපෙහි වූ එකල්හි බුදුරජුන් ගඟින් එතෙර කිරීම නම්වූ යම් පින්කමක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුදුරජුන් ගඟින් එතෙර කිරීමෙහි මේ විපාකයයි.
42. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තරණීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
තරණියත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
උක්ඛේපිය, තෙලමක්ඛිය, චන්දිය, දීපද, බිළාලිද, මච්ඡ, ජව, සලලද, රක්ඛස හා තරණ යැයි දස දෙනෙකි. මෙහි ගාථාවෝ හතළිස් එකක් යැයි ගණන් බලන ලදී.
පදුමුක්ඛිපවග්ගො සත්තවීසතිමො.