261. ආකාසුක්ඛිපිය ථේරාපදානය
1. “ඇතුළු වීථියෙහි වඩින්නාවූ, ස්වර්‍ණ වර්‍ණවූ, නරශ්‍රේෂ්ඨවූ සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන් (දිටිමි.) (දැක) ජලයෙහි හටගන්නාවූ පියුම් උපුල් වැනි උතුම් මල් දෙකක් ගෙන උන්වහන්සේ වෙත එළඹියෙමි.
2. “ඉන් එක මලක් ගෙන බුදුරජුන්ගේ ශ්‍රීපාදයට බිම දැමීමි. එකක් අහසට උඩ දැමීමි.
3. “මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප දානයාගේ මේ විපාකයයි.
4. “මින් දෙතිස්වන කපෙහි පෘථිවීශ්වරවූ, මහත් බල ඇති අන්තලික්ඛවර නම් සක්විති රජෙක් වීමි.
5. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආකාසුක්ඛිපිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
ආකාසුක්ඛිපියත්ථෙරස්සාපදානං පඨමං.
262. තෙලමක්ඛිය ථේරාපදානය
6. “නරශ්‍රේෂ්ඨවූ සිදුහත් බුදුරජුන් පිරිනිවි කල්හි මම (උන්වහන්සේගේ) බෝධි වේදිකාවෙහි තෙල් ගැල්වීමි.
7. “මින් සිව් අනූවන කපෙහි යම් තෙල් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. තෙල් පූජාවේ මේ විපාකයයි.
8. “මින් සූවිසිවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති සුච්ඡවී නම් වූ ක්ෂත්‍රිය සක්විති රජෙක් වීමි.
9. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තෙලමක්ඛිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
තෙලමක්ඛියත්ථෙරස්සාපදානං දුතියං.
263. අඩ්භචන්‍දිය ථේරාපදානය
10. “තිස්ස බුදුරජුන්ගේ උතුම් බෝරුක මුල මවිසින් අර්ධ චන්‍ද්‍රාකාරයෙන් නොයෙක් වර්‍ගයෙන් මල් පුදන ලදී.
11. “මින් දෙයානූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කරණ ලදද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
12. “මින් පස් විසිවවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති දෙවල නම් සක්විති රජෙක් වීමි.
13. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඩ්ඪචන්‍දිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
අඩ්ඪචන්දියත්ථෙරස්සාපදානං තතියං.
264. අපණ්ණදීපිය ථේරාපදානය
14. “එකල්හි දෙවියෙකු වූ මම පොළවට බැස (මිනිස් ලොවට අවුත්) පහන්වූයේ සියතින්ම පහන් පසක් පිදීමි.
15. “මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් ප්‍රදීප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ප්‍රදීප දානයාගේ මේ විපාකයයි.
16. “පස් පණස්වන කපෙහි පෘථිවීශ්වරවූ සමන්තචක්ඛු නම් මහත් බල ඇති සක්විති රජෙක් වීමි.
17. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අපණ්ණදීපිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
පදීපදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.
265. බිලාලිදායක ථේරාපදානය
18. “හිමවතට නුදුරෙහි “රොමස” නම් පර්‍වතයෙක් විය. එම පර්‍වත පාදයෙහි පර්‍වතය කෙළවර කරණ ලද ඉඳුරන් ඇති භික්‍ෂුවක් විය.
19. “මම බිළාලි නම්වූ අල ගෙනගොස් එම ශ්‍රමණයන් වහන්සේට දුනිමි. සියල්ල තෙමේම දත් මහා වීරවූ පස්මරුන් දිනූ එම බුදුරජතෙම අනුමෝදනාව කළ සේක. (කෙසේද යත්)
20. “තා විසින් මට පැහැදි සිතින් බිළාලි අල දෙන ලදද (ඒ හේතුයෙන්) භවයෙහි උපදනා කල්හි තොපටද ඵල නිපදේවා” කියායි.
21. “මම මින් සිව් අනූවන කපෙහි යම් බිළාලි දනක් දෙන ලදද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බිළාලි දානයාගේ මේ විපාකයයි.
22. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බිළාලිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
බිළාලිදායකත්ථෙරස්සාපදානං පඤ්චමං.