257. මඤ්ජරී පූජක ථේරාපදානය.
2521. “මම මදිටි මල් ගොටුවක් කොට වීදියට පිවිසියෙමි. (එහිදී) භික්ෂු සංඝයා විසින් පිරිවරණ ලද ශ්රමණයන්ට අග්රවූ බුදුරජාණන් වහන්සේ දුටිමි.
2522. “උතුම් ප්රීතියෙන් පහන් සිත් ඇත්තේ, සොම්නස් වූයේ, දෝතින් ගෙන බුදුරජුන් හට පිදීමි.
2523. “මින් දෙයානූවන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
2524. “මින් තෙසැත්තෑවන කපෙහි පෘථිවීශ්වරවූ, මහත් බල ඇති ජොතිය නම් සක්විති රජෙක් වීමි.
2525. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.”
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මඤ්ජරීපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මඤ්ජරිපූජකත්ථෙරස්සාපදානං සත්තමං.
258. පණ්ණදායක ථේරාපදානය.
2526. “මම හිමවතට වැහැරි සිවුරු දරණ, ලුණු නොමැතිව කොළ අනුභව කරන්නාවූ, නියමි නම්වූ, පඤ්ච සීලයෙහි හික්මුනාවූ තවුසෙක් වෙමි.
2527. “පෙරවරුව පැමිණි කල්හි සිද්ධාර්ත්ථ බුදුරජ තෙම මාවෙත වැඩි සේක. මම පහන්වූයේ සියතින් බුදුන්හට පිදීමි.
2528. “මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් කොළ දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. කොළ දානයාගේ මේ විපාකයයි.
2529. “සත්තිස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති “යදත්ථිය” නම් නම් සක්විති රජෙක් වීමි.
2530. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.”
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පණ්ණදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පණ්ණදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.
259. කුටිදායක ථේරාපදානය.
2531. “වනයෙහි හැසිරෙන්නාවූ සර්වඥ තෙමේ එකල්හි රුක්මුලක විසූහ. මම පස්මරුන් දිනූ උන්වහන්සේට පන්සලක් කරවා දුනිමි.
2532. “මින් එක් අනූවන කපෙහි යම් පර්ණකුටියක් දුනිම්ද, එකල්හි (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. කුටි දානයාගේ මේ විපාකයයි.
2533. “මින් අටවිසිවන කපෙහි, සබ්බත්ථ අභි වස්සි නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
2534. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.”
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුටිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කුටිදායකත්ථෙරස්සාපදානං නවමං.
260. අග්ගජ පුප්ඵිය ථේරාපදානය.
2535. “පර්වතාන්තරයෙහි වැඩහුන්නාවූ, ස්වර්ණවර්ණවූ රශ්මිය කරණකොටගෙන ගිනි කඳක් මෙන් බබළන කිඛී බුදුරජුන් (දුටිමි.)
2536. “මම අග්ගජ නම්වු මල් ගෙන බුදුරජුන් වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, (එය) බුදුරජුන්හට පිදීමි.
2537. “මින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2538. “පස්විසිවන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති අමිත නම් සක්විති රජෙක් වීමි.
2539. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.”
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අග්ගජ පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අග්ගපුප්ඵියත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
ථොමක, එකාසනදායක, චිතකපූජක, තිචම්පක, සත්තපාටලී, උපාහනදායක, මඤ්ජරීපූජක, පණ්ණදායක, කුටිදායක, අග්ගජපුප්ඵිය ද යන මොවුහු වෙති. මෙහි ගණන් කරන ලද ගාථාවෝ හතළිස් එකක්ම වෙත්.
ථොමකවග්ගො ඡබ්බීසතිමො.