255. සත්ත පාටලිය ථේරාපදානය.
2515. “පර්වතාන්තරයෙහි වැඩහුන්නාවූ, පිපුණු කිණිහිරි රුකක් මෙන් බබලන බුදුරජුන්හට පළොල් මල් සතක් පිදීමි.
2516. “මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
2517. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.”
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත් පාටලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සත්තපාටලියත්ථෙරස්සාපදානං පඤ්චමං.
256. උපාහනදායක ථේරාපදානය.
2518. “එකල්හි චන්‍දන නම් බුද්‍ධපුත්‍රයෙක් විය. මා විසින් උන්වහන්සේට එක් පාවහන් සඟලක් දුනිමි. (දීමෙන් පැතීමි. එම්බා පාවහන් සඟල, “ඔබ මා (ශ්‍රාවක) බෝධියට පමුණුවන්නෙහිය” කියායි.
2519. “මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් පාවහන් දෙකක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පාවහන් දනෙහි මේ විපාකයයි.
2520. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.”
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපාහනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
උපාහනදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
257. මඤ්ජරී පූජක ථේරාපදානය.
2521. “මම මදිටි මල් ගොටුවක් කොට වීදියට පිවිසියෙමි. (එහිදී) භික්‍ෂු සංඝයා විසින් පිරිවරණ ලද ශ්‍රමණයන්ට අග්‍රවූ බුදුරජාණන් වහන්සේ දුටිමි.
2522. “උතුම් ප්‍රීතියෙන් පහන් සිත් ඇත්තේ, සොම්නස් වූයේ, දෝතින් ගෙන බුදුරජුන් හට පිදීමි.
2523. “මින් දෙයානූවන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
2524. “මින් තෙසැත්තෑවන කපෙහි පෘථිවීශ්වරවූ, මහත් බල ඇති ජොතිය නම් සක්විති රජෙක් වීමි.
2525. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.”
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මඤ්ජරීපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මඤ්ජරිපූජකත්ථෙරස්සාපදානං සත්තමං.
258. පණ්ණදායක ථේරාපදානය.
2526. “මම හිමවතට වැහැරි සිවුරු දරණ, ලුණු නොමැතිව කොළ අනුභව කරන්නාවූ, නියමි නම්වූ, පඤ්ච සීලයෙහි හික්මුනාවූ තවුසෙක් වෙමි.
2527. “පෙරවරුව පැමිණි කල්හි සිද්‍ධාර්ත්‍ථ බුදුරජ තෙම මාවෙත වැඩි සේක. මම පහන්වූයේ සියතින් බුදුන්හට පිදීමි.
2528. “මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් කොළ දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. කොළ දානයාගේ මේ විපාකයයි.
2529. “සත්තිස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති “යදත්‍ථිය” නම් නම් සක්විති රජෙක් වීමි.
2530. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.”
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පණ්ණදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පණ්ණදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.