253. චිතකපූජක ථේරාපදානය.
2507. “සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස් මරුන් දිනූ ආනන්‍ද නම් සම්බුදු රජ තෙමේ අමනුෂ්‍ය පරිගෘහිත වනයෙහි පිරිනිවන් පා වදාළ සේක.
2508. “මම එකල්හි දෙව්ලොවින් මෙහි පැමිණ, චිතකයක් කොට (එම බුද්‍ධ ශරීරය) දැවීමි. සත්කාරද කෙළෙමි.
2509. “මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
2510. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.”
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
චිතකපූජකත්ථෙරස්සාපදානං තතියං.
254. තිචම්පක ථේරාපදානය.
2511. “හිමවතට නුදුරෙහි චිතක නම් පර්‍වතයෙක් විය. එම පර්‍වතය මධ්‍යයෙහි වඩන ලද ඉඳුරන් ඇති ශ්‍රමණයෙක් තෙම වෙසෙයි.
2512. “උන්වහන්සේගේ සන්සුන්බව දැක පැහැදි සිතින් සපුමල් තුනක් ගෙන විසිරවීමි. (පිදීමි.)
2513. “මම එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2514. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.”
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිචම්පක පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තිචම්පකපුප්ඵියත්ථෙරස්සාපදානං චතුත්ථං.
255. සත්ත පාටලිය ථේරාපදානය.
2515. “පර්වතාන්තරයෙහි වැඩහුන්නාවූ, පිපුණු කිණිහිරි රුකක් මෙන් බබලන බුදුරජුන්හට පළොල් මල් සතක් පිදීමි.
2516. “මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
2517. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.”
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත් පාටලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සත්තපාටලියත්ථෙරස්සාපදානං පඤ්චමං.
256. උපාහනදායක ථේරාපදානය.
2518. “එකල්හි චන්‍දන නම් බුද්‍ධපුත්‍රයෙක් විය. මා විසින් උන්වහන්සේට එක් පාවහන් සඟලක් දුනිමි. (දීමෙන් පැතීමි. එම්බා පාවහන් සඟල, “ඔබ මා (ශ්‍රාවක) බෝධියට පමුණුවන්නෙහිය” කියායි.
2519. “මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් පාවහන් දෙකක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පාවහන් දනෙහි මේ විපාකයයි.
2520. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.”
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපාහනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
උපාහනදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.