251. ථොමක ථේරාපදානය.
2499. “දෙව්ලොව සිටියේ, විපස්සී බුදුරජුන්ගේ ධර්‍මය අසා සතුටුවූයේ මම මේ වචනය කීමි.
2500. “පුරුෂ ශ්‍රේෂඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂොත්තමයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ඔබ අමා පදය (ධර්‍මය) දෙසමින් බොහෝ දෙන (සසර සයුරින්) එතර කරහිය කියායි.
2501. “මින් එක් අනූවන කපෙහි වූ එකල්හි (යම් බුදුරජුන්හට ස්තූති) වචනයක් කීවෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ ස්තූති කරණයෙහි මේ විපාකයයි.
2502. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.”
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ථොමක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ථොමකත්ථෙරස්සාපදානං පඨමං.
252. එකාසනදායක ථේරාපදානය.
2503. “බුද්‍ධ ශ්‍රේෂඨයන් වහන්සේගේ සසුනෙහි කුසල් කරනු කැමතිව දෙව් වෙස හැර බිරිය සමග මෙහි පැමිණියෙමි.
2504. “(එකල්හි) දෙවල නම් පදුමුත්තර බුදුරජුන්ගේ ශ්‍රාවකයෙක් විය. මා විසින් උන් වහන්සේට පහන් සිතින් භික්‍ෂාවක් දෙන ලදී.
2505. “මින් සියක් දහස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කරණ ලදද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පිණ්ඩපාත දානයාගේ මේ විපාකයයි.
2506. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.”
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකාසන දායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
එකාසනදායකත්ථෙරස්සාපදානං දුතියං.
253. චිතකපූජක ථේරාපදානය.
2507. “සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස් මරුන් දිනූ ආනන්‍ද නම් සම්බුදු රජ තෙමේ අමනුෂ්‍ය පරිගෘහිත වනයෙහි පිරිනිවන් පා වදාළ සේක.
2508. “මම එකල්හි දෙව්ලොවින් මෙහි පැමිණ, චිතකයක් කොට (එම බුද්‍ධ ශරීරය) දැවීමි. සත්කාරද කෙළෙමි.
2509. “මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
2510. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.”
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
චිතකපූජකත්ථෙරස්සාපදානං තතියං.
254. තිචම්පක ථේරාපදානය.
2511. “හිමවතට නුදුරෙහි චිතක නම් පර්‍වතයෙක් විය. එම පර්‍වතය මධ්‍යයෙහි වඩන ලද ඉඳුරන් ඇති ශ්‍රමණයෙක් තෙම වෙසෙයි.
2512. “උන්වහන්සේගේ සන්සුන්බව දැක පැහැදි සිතින් සපුමල් තුනක් ගෙන විසිරවීමි. (පිදීමි.)